මාළු මිලත් ඉහළට

මාළු මිලත් ඉහළට

බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු කලාපය ආශ්‍රිතව ඇතිවූ සුළි කුණාටු තත්වයන් නිසා මුහුද රළු වීමෙන් මාළු ඇල්ලීමට නොහැකිවී ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙඳ සංගමයේ ලේකම් එන්.ජයන්ත කුරේ මහතා පැවසීය.

සාමාන්‍යයෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට දිනකට මත්ස්‍යයන් ටොන් 400 ක් පමණ ලැබුණද, මේ දිනවල ලැබෙන්නේ ටොන් 100 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවද, මේ නිසා මත්ස්‍ය හිඟයක් පවතින බවද ඔහු පැවසීය.

පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ලැබෙන මාළු ප්‍රමාණය විනාඩි 30 ක පමණ කාලයකින් අවසන් වන බවද, මාළු හිඟය නිසා පෑලියගොඩින් මාළු රැගෙන යන කුඩා මාළු වෙළෙඳසල් වලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් දැනට සති කීපයක සිට වැසී ගොස් ඇති බවද ලේකම්වරයා පැවසුවේය.

බෙංගාල බොක්ක ආශ්‍රිතව පසුගිය දිනවල පැවැති සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට ගමන් කිරීමත් සමග අරාබි මුහුද ආශ්‍රිතව සුළි කුණාටුවක් වර්ධනය වූ බවත්, මේ නිසා මුහුද රළු වීම නිසා බෝට්ටුවලින් ගොස් මාළු ඇල්ලීමට අපහසු තත්වයක් උද්ගතව ඇති බවත් ලේකම්වරයා කීවේය.

අඩි 50 ක් 100 ක් පමණ උසට උදම් රළ පැවතීම නිසා බෝට්ටු ගමන් කිරීමට අපහසු බවද ඔහු සඳහන් කළේය.

මෙලෙස මාළු හිඟය නිසා මාළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයිද ඔහු පවසයි.

තලපත් කිලෝවක තොග මිල රුපියල් 2500 ක් දක්වාද, තෝරා කිලෝවක තොග මිල රුපියල් 3000 ක් දක්වාද, බලයා කිලෝවක තොග මිල රුපියල් 1100 ක් දක්වාද, ලින්නා කිලෝවක තොග මිල රුපියල් 1000 ක් දක්වාද, ලින්නා නො.01 කිලෝවක මිල රුපියල් 1300 ක් දක්වාද, සාලයා කිලෝවක තොග මිල රුපියල් 600 ක් දක්වාද වැඩිවී තිබේ.