සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ.

විභාගය අද සිට මේ මස 15 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 452,979 ක් පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 ක් ඇතුළත් වෙති.

විභාගයේ ආරම්භ දිනය වන අද බුද්ධාගම ඇතුළු ආගම් විෂයන් පැවැත්වෙන අතර විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වේ.

අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

පාසල් විභාග මධ්‍යස්ථානවලට අමතරව විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

Share This