අලි – ඇතුන් බලා ගැනීමේ සය මාසික පාඨමාලාවක් – අයදුම්පත් කැඳවීම ඇරඹේ

අලි – ඇතුන් බලා ගැනීමේ සය මාසික පාඨමාලාවක් – අයදුම්පත් කැඳවීම ඇරඹේ

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා ඇත්ගොව්වන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පවසනවා.

ඒ සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

මුතු රාජා යළි තායිලන්තයට රැගෙන යාමේ සිද්ධිය මූලික කර ගනිමින් මෙවැනි පාඨමාලාවක් ආරම්භ කිරීම පිළිබඳ තීරණයක් ගත් බවද තිලක් ප්‍රේමකාන්ත මහතා කියා සිටියා.

එම සිදුවීමේ දී මුතුරාජා රැක බලාගත් ඇත්ගොව්වන් අතින් යම් අඩුපාඩු සිදු වී ඇති බවට නිරීක්ෂණය වූ හෙයින් හීලෑ අලි – ඇතුන් රැක බලා ගැනීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන් පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අලි – ඇතුන් රැක බලා ගැනීම, සුරක්ෂිතභාවය, යහ පැවැත්ම, රැකවරණය හා ශුභසාධනය පිළිබඳ හස්ති භාරකරුවන්ට මෙන්ම ඇත්ගොව්වන්ට විධිමත් සහ ප්‍රායෝගික පුහුණුවක් මේ පාඨමාලාව මඟින් ලබා දීමට නියමිතයි.

මාස හයක පාඨමාලාවක් සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මේ සඳහා වයස හෝ අධ්‍යාපන සුදුසුකම් සලකා නොබැලෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළා.

මේ වනවිට එම පාඨමාලාව සඳහා 25 දෙනෙකු පමණක් බඳවා ගැනීමට සැලසුම් කොට තිබුණ ද අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබුණහොත් බඳවා ගන්නා ප්‍රමාණය ද ඉහළ දැමීමට පියවර ගන්නා බවයි ඔහු පැවසුවේ.

පළමු මාස දෙකේදී පින්නවල ජාතික සත්ත්වෝද්‍යානයේ පුහුණු මධ්‍යස්ථානයේ න්‍යායාත්මක පුහුණුවකුත්, ඉතිරි මාස හතරේදී පින්නවල අලි අනාථාගාරයේදී ප්‍රායෝගික පුහුණුවකුත් ලබා දීමට නියමිතයි.

මෙම පාඨමාලාව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 011 – 2712751, 011 – 2712752 හෝ 011 – 2712753 යන දුරකතන අංක ඇමතිය හැකි බවයි ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ.