ඩ්‍රෝන සීයක් වගා වැඩ වලට දෙයි

ඩ්‍රෝන සීයක් වගා වැඩ වලට දෙයි

රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා 100 ක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය.

වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට නියමිතයි.

එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා දීමට පියවර ගෙන ඇත.

එක් ඩ්‍රෝන යානාවකින් පැයකට හෙක්ටයාර් 16ක කෘමිනාශක හෝ වල්නාශක යෙදිය හැකි බවත් වී වැපිරීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමට හැකියාව පවතින බවත් අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, මෙම ඩ්‍රෝන යානා 100 කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, වව්නියාව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දෙන බවයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී මෙම ඩ්‍රෝන යානා බාර දීම සිදු කළ අතර එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, කෘෂි අංශ නිපුණතා සභාවේ සභාපති කාවින්ද දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.