අර්ජුන ඇලෝසියස්ගෙන් රජයට කෝටි 580ක පොල්ලක් – නලින්ද ජයතිස්ස

අර්ජුන ඇලෝසියස්ගෙන් රජයට කෝටි 580ක පොල්ලක් – නලින්ද ජයතිස්ස

අර්ජුන් ඇලෝසියස්ට අයත් මත්පැන් සමාගමක් විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 580ක බදු මුදලක් ගෙවිය යුතු බවත් මේ වනවිටත් එම ගෙවීම් පැහැර හැර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාණ්ඩලික සභික නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පානදුර නගර මධ්‍යයේ ජනතා හමුවක් පවත්වමින් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් වයඹ ඩිස්ටලරීස් මත්පැන් සමාගම ද රුපියල් කෝටි 85 ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවත් ය.

කෙසේවෙතත්, මේ වන විට එම සමාගම් වල බලපත්‍ර අවලංගු කර ඇති බවත් ඒ හේතුවෙන් හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වාරයා කලින් විශ්‍රාම යවා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

ඇලෝසියස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයවලුන් බේරාගැනීමේ අරමුණෙන් කලින් විශ්‍රාම ගොස් සිටි සුරාබදු කොමසාරිස්වරයා නැවත වරක් එම තනතුරේම පිහිටුවා ඇති බවත් ජයතිස්ස මහතා සදහන් කළේය.

එසේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ ද ඉන්දියාවෙන් සීනි නැවක් ආනයනය කිරීමෙන් පසුව සීනි සදහා බද්දක් ගැසූ බවත් මෑතකදී ද එවැනිම ආකාරයේ සිදුවීමක් සිදු වූ බවත් නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේය.

එමගින් පෙනී යන්නේ ඉහළ අයට බදු සහනත් සාමාන්‍ය ජනතාවට බදු බරත් ලැබෙන ආකාරය බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.