හෙට කරළියට එන රොෂාන්ගේ අලුත් පක්ෂය

හෙට කරළියට එන රොෂාන්ගේ අලුත් පක්ෂය

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නව පක්ෂයක් ආරම්භ කරන බව වාර්තා වේ.

ඒ අනුව “රට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය” නමින් හෙට (18) දින පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

තමන් විසින් හොරු ඇල්ලීමට උත්සාහ කිරීමේ දී අමාත්‍යධූරයෙන් නෙරපුවත් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් උපරිම ආකාරයෙන් කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

මේ වනවිට රටට අවශ්‍ය වී ඇත්තේ 2048දී රට ගොඩනගන ආකාරය පිළිබඳ සැලසුම් නොවන බවත් අවශ්‍ය වන්නේ වත්මන් අර්බුදයෙන් ඉක්මනින් ගැලවීම බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයන් වහන්සේගේ වැඩ නිම කිරීමට තම මන්ත්‍රී වැටුප ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ට පූජා කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ඉදිරි දේශපාලන ගමන පිළිබඳව පැහැදිලි කරමින් රොෂාන් රණසිංහ මහතා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා මෙසේද කීය..

” රටේ හැම දිස්ත්‍රික්කයකින්ම කතා කරලා මගෙන් ඉල්ලීමක් කළා රට වෙනුවෙන් දේශපාලනය කරන්න ඉස්සරහට එන්න කියලා, හොරු අල්ලලා ඇමතිකමෙන් අස්කළාට රට වෙනුවෙන් මගේ කාර්යය මම උපරිම වශයෙන් කරනවා,

ඔව් අපිට පුළුවන් මේ රට ගොඩනගන්න, ඔය විස්සයි හතළිස් අට වෙද්දි ඔක්කොමලා මැරිලනේ, නොවෙන කතා නොකියා මේ මිනිස්සු විඳින දුකෙන් ගලවාගන්නයි ඉක්මනින්ම වෙන්න ඕනි, ප්‍රධාන වශයෙන් අපේ රටට ඕනේ මේ රට හදනවා කියන චේතනාව තියෙන නායකයෙක්, ඒ කියන්නේ හෘද සාක්ෂියට අනුව ඔව් මගේ රට හදනවා කියන චේතනාව තියෙන්න ඕන, නායකයා කෙළින් යනවා නම් ඔය කවුරුත් දූෂණවලට කටයුතු කරන්නේ නෑ.

මම ක්‍රීඩා අමාත්‍යංශය කරද්දී දූෂණයට සම්බන්ධ දෙතුන් දෙනෙක් අයින් කරලා කරා. දූෂණ වංචා කිසිවක් නොමැතිව ක්‍රීඩා අමාත්‍යාංශයට කැලලක් නොවෙන ආකාරයෙන් මම වැඩ කළා. එහෙම කරද්දි තමයි නායකයෝ මාව ඉවත් කලේ.

මේ රටේ ජනතාවට නායකයෝ ගැන විශ්වාසයක් නෑ. ලෝකයේ ආයෝජකයන්ටත් එහෙමයි අපේ රටේ නායකයෝ ගැන විශ්වාසයක් නෑ.

ලෝකයේ ආයෝජකයෝ අනූ දෙනෙක් ඩොලර් බිලියනය ගානෙ දුන්නොත් අපේ රටේ ණය ඉවරයි. ඉතින් ඒකට සැලැස්මක් ඇතුව යන්න ඕනේ, මේ රටේ රාජ්‍යය නායකයා ඒ අය ගාවට යන්න ඕන.

අද මේ රටේ නායකයො දේශපාලනික වශයෙන් බයයි, ආර්ථික හා සමාජ බිය තියෙනවා, සංස්කෘතිය අතින් අපි හැමෝම බය වෙලා ඉන්නෙ.