දිඹුලාගල විදුලි බිල ගෙවන්න වසර 5ක සහන කාලයක්

දිඹුලාගල විදුලි බිල ගෙවන්න වසර 5ක සහන කාලයක්

රුපියල් ලක්ෂ 57ක හිඟ විදුලි බිල වසර පහක කාලයක් තුළ ගෙවා අවසන් කිරීමේ පදනම මත ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විසන්ධි කළ විදුලිය නැවත ලබාදීමට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පොරොන්දු වී තිබේ.

වසර එක හමාරකට අධික කාලයක් තුළ එකතු වී තිබූ රුපියල් ලක්ෂ 57ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඉකුත් 24 වැනිදා එම ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරිණි.

එලෙස විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සේනාසනයේ මහා කාශ්‍යප මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙන්ම ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ පැවසූහ.

ඒ පිළිබඳ සොයාබැලීම සඳහා මහමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම ඇතුළු පිරිසක් ඊයේ (29 වැනිදා) දහවල් එම ආරණ්‍ය සේනාසනයට ගොස් නායක ස්වාමීන්වහන්සේ හා වැඩවාසය කරන භික්ෂූන්වහන්සේලා සමග සාකච්ඡාවක නිරත වූහ.

එහිදී එම හිඟ විදුලි බිල රුපියල් ලක්ෂය බැගින් මාසිකව වසර පහක් තුළ ගෙවීමට අවශ්‍ය සහනය සලසා දෙන ලෙස ස්වාමින් වහන්සේලා ඉල්ලීමක් කළහ.

එමෙන්ම වසර පහක් ඇතුළත රුපියල් ලක්ෂය බැගින් හිඟ මුදල් ගෙවන අතරේ මාසිකව ලැබෙන විදුලි බිල ගෙවීමටද යම් වැඩපිළිවෙළක් සකසා දෙන ලෙසද උන්වහන්සේලා සිරිපාල ගම්ලත් ඇමැතිවරයා ඇතුළු පිරිසගෙන් ඉල්ලීමක් කළහ.

අනතුරුව සිරිපාල ගම්ලත් ඇමැතිවරයා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර එහිදී විදුලිබල ඇමැතිවරයා ඊට කැමැත්ත පළ කර තිබේ.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විසින් ඒ සම්බන්ධව අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ අදාළ නිලධාරීන් දැනුවත් කරනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මෙහිදී පැවසීය.

Share This