සුමතිපාලගේ සභාපති නාමයෝජනාව ඇතුළු නාමයෝජනා 05ක් ප්‍රතික්ෂේප කරයි

සුමතිපාලගේ සභාපති නාමයෝජනාව ඇතුළු නාමයෝජනා 05ක් ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාපන්දු නිලවරණ කමිටුව දක්ෂිත මහතාට සහය දක්වන ඉතිරි නාමයෝජනා 08 පමණක් අනුමත කර ඇති අතර, මේ අනුව නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට වැඩි වාසි නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වුවද, මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ලබන මස 03 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමට නිලවරණ කමිටුව අදාළ අපේක්ෂකයන්ට අවස්ථාව සලසා දී ඇත.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන මහත්ම මහත්මීන්ගේ මෙලෙස නාමයෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වාර්තා වන පරිදි මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ අනුබද්ධිත පාපන්දු ලීග්වල වසර 04ක ක්‍රියාකාරීත්වයක් නොමැති බව තහවුරු වීමයි.

දක්ෂිත මහතාගේ පාර්ශ්වයේ අභියාචනාද ප්‍රතික්ෂේප වුවහොත් හිටපු සභාපති ජස්වර් උමර් මහතා නිතරගයෙන් සභාපති තනතුරට පත්වන අතර අනෙක් ප්‍රධාන තනතුරු 04ට ද නිතරග අවස්ථා හිමිවනාවා.

මේ අතර, නිලවරණ කමිටුව හිටපු සභාපති ජස්වර් උමර් මහතාගේ නාමයෝජනා 13ම අනුමත කිරීම සුවිශේෂිය.

නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු යූ. එල්. අබ්දුල් මජීඩ් මහතා කටයුතු කරන අතර, සාමාජිකයින් ලෙස විශ්‍රාමික විනිසුරු බන්දුල කේ. අතපත්තු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි ගුණසේකර යන මහත්වරු කටයුතු කරනවා.