ඩයනා අතුරුදහන්

ඩයනා අතුරුදහන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර සැකකාරියක ලෙස නම් කර ඇති ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට කරුණු වාර්තා කර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යනුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි 08 වන දින තීන්දු කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, වග උත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේ ද කරුණු තහවුරු වූ බවයි.

එසේ ම, ඩයනා ගමගේ තම ශ්‍රී ලාංකික පුරවැසිභාවය අධිකරණය හමුවේ ඔප්පු කිරීමට අසමත් වී ඇති බව ද විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබෙනවා.