කැලෑබද ප්‍රදේශයක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

කැලෑබද ප්‍රදේශයක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

අතුරුදන්වී සිටි කාන්තාවකගේ මළසිරුරක් බෙරවිල, පටිතලාව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, බෙරවිල, පටිතලාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් එලෙස හමුවී ඇති බවයි.

අරණායක පොලිස් වසමේ නාරංගල ප්‍රදේශයේ වැටලීම් රාජකාරි වල නිරතව සිටි අරණායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට බෙරවිල මාර්ගයේ ලඳු කැලෑවක් තුළ පුද්ගලයන් පිරිසක් යම් සෝදිසි කිරීමක නිරතවන ආකාරය නිරීක්ෂණය වී ඇත.

පසුව කරන ලද විමසීමේදී අතුරුදහන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් සෝදිසි කරන බවට එම ස්ථානයේ සිටි එම කාන්තාවගේ පුත්‍රයා ප්‍රකාශ කර තිබේ.

අනතුරුව අරණායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම ද එම පිරිස සමග එක්ව සිදුකළ සොයාබැලීමේදී එම ලඳු කැලෑවේ තිබී අතුරුදහන් වූ කාන්තාවගේ නරක් වූ මළසිරුර සොයාගෙන තිබේ.

මියගිය කාන්තාව ඉකුත් 05 වනදා ගම්පොළ නගරයට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් ඇති බවට, සිදු කල විමර්ශනයේදී පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.