කටුනායකින් පන්නන්න හැදූ එක්කෝටි තිස් ලක්ෂයක විස්කි බෝතල් තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට – Photos

කටුනායකින් පන්නන්න හැදූ එක්කෝටි තිස් ලක්ෂයක විස්කි බෝතල් තොගයක් සමග තිදෙනෙක් අත්අඩංගුවට – Photos

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදෙස් මත්පැන් බෝතල් තොගයක් සහ දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් තිදෙනෙක් ඊයේ (09) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා විසින් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ මෙම මත්පැන් සහ දුම්වැටි තොගය ගුවන් තොටුපොළේ
‘හරිත මාවත’ ඔස්සේ රට තුළට රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වන අතර තීරුබදු නොගෙවා මේවා රැගෙනවිත් තිබේ .

මොවුන් අතරින් එක් ව්‍යාපාරිකයෙකු 30 හැවිරිදි වියේ පසුවන කොළඹ – 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙක් ව්‍යාපාරිකයා කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර තෙවැනි ව්‍යාපාරිකයා 52 වියේ පසුවන හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඊයේ (09) රාත්‍රී 09.00 තෙක් ගුවන් තොටුපොළ තුළ රැදී සිට , ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා පැමිණ තිබුණි .

එහිදී ඔවුන් ගුවන් තොටුපොළ සියලුම විමර්ශන කටයුතු නිම කර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීම සදහා ගමන් කරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

ඔවුන් සිය ගමන් මලු තුළ ලීටරයේ සැරබීම බෝතල් 124 ක් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 1,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 09 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .