කෝටිපති ව්‍යාපාරිකයකු ගෙල වැල ලා ගෙන මරුට

කෝටිපති ව්‍යාපාරිකයකු ගෙල වැල ලා ගෙන මරුට

ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කරයි.

මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ වෙම්බුවැව අංගම්මනගේ පදිංචිව සිටි ශානක දිසානායක (33) නමැති තිදරු පියකු බව කියයි.

දෛනිකව හා මාස් පතා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් හා තවත් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යමින් අදාළ තරුණ ව්‍යාපාරිකයා ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහදව සිටි අයකු බව පොලිසිය කියයි.

මොහුගේ බිරිය ද ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබියදී එයින් ඇය පාඩු ලැබීමත් සමඟ සැමියාගේ එකඟතාව මත විදේශ රටක රැකියාවක් සඳහා මාස 7කට පෙර ගොස් ඇති බව පැවසේ.

කෙසේ වෙතත් අදාළ තරුණ ව්‍යාපාරිකයා සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක් වෙම්බුවැව ප්‍රදේශයේ ඉදි කර තිබී ඇත.

එහි ඔහු හා දරුවන් තිදෙනා පදිංචිව සිට ඇති අතර දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු ආණමඩුව නගරයේ පාසලක අධ්‍යාපන කටයුතු සඳහා යොමු කර සිට ඇත.

සෑම දිනකම උදෑසන මෙම දරුවන් පාසල් බස් රථයට රැගෙන යන්නේත් නැවත දරුවන් පාසල නිම වී බස් රථයෙන් පැමිණි පසු රැගෙන ඒමට කටයුතු කර ඇත්තේත් මෙම ව්‍යාපාරිකයා විසින් බවත් පොලිසිය කියයි.

ඊයේ දරුවන් රැගෙන ඒමට බස් රථය අසලට ඔහු නොපැමිණි නිසා දරුවන් පා ගමනින්ම නිවෙසට පැමිණ ඇත. නිවෙස විවෘතව තිබීම නිසා පියා සොයමින් නිවෙස පුරා ගමන් කරමින් සිටියදී සිය පියා උඩු මහලේ කාමරයක බාල්කයක ලණුවක් ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටියදී වැඩිමල් දරුවා විසින් දැක ඇති බව කියයි.

ඉන්පසුව දරුවන් විලාප තැබීමත් සමඟ අසල්වැසියන් පැමිණ පොලිසියට දන්වා ඇති බවත් ඉන් පසුව සිරුර ඉවත් කර ඇති බවත් පැවසේ.

ඉන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පුත්තලම මූලික රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

කෙසේ නමුත් මෙම තරුණ කෝටිපති ව්‍යාපාරිකයාගේ මිතුරන් පවසන්නේ මොහුට සියදිවි නසා ගැනීමට තරම් කිසිදු හේතුවක් නොතිබූ බවයි.

හිරාන් ප්‍රියංකර ජයසිංහ