දැඩි හිරු රශ්මිය සිව් දරු පියාට මරු කැඳවයි

දැඩි හිරු රශ්මිය සිව් දරු පියාට මරු කැඳවයි

දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පෝරඹ ප්‍රදේශයේදී පාපැදියෙන් යමින් සිටි අයකු පවතින දැඩි හිරු රශ්මිය දරා ගැනීමට නොහැකිව ඇදවැටී මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ විජේසිංහ දෙද්දුවගේ ධර්මසේන නැමති 72 හැවිරිදි සිව්දරු පියෙකු වූ තෙලිජ්ජවිල වල්පිට පදිංචි ව්‍යාපාරිකයකු බවට හදුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

දීගල ප්‍රදේශයේ පැවති දානමය පිංකමකට සහභාගී වී යලි නිවස වෙත සිය බිරිඳ සමග පාපැදියෙන් ගමන් කරමින් සිට ඇති බවත් මද දුරක් පැමිණෙද්දී පාපැදියේ සුළං බැසීම නිසා බිරිඳ බස් රථයකට නංවා කිලෝමීටරයක පමණ දුරක් පා පැදිය තල්ලුකරගෙන දැඩි අව් රශ්මියේ පැමිණෙමින් සිටි අතරතුර මෙම මරණය සිදුව ඇතැයි මෙතෙක් කළ විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇති බව පොලිසිය පවසයි.