හෝමාගම හොල්මන් වලව්වට යාබද ඉඩමක එල්ලී මියගිය මළ සිරුරක්

හෝමාගම හොල්මන් වලව්වට යාබද ඉඩමක එල්ලී මියගිය මළ සිරුරක්

හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයට යාබද හොල්මන් වලව්ව නමින් හඳුන්වන නිවසකට යාබද පාළු ඉඩමක දින දෙකකට පමණ පෙර ගෙල වැළලාගෙන මියගොස් සිටි පුද්ගල මළ සිරුරක් අඩි විස්සක් පමණ උසින් යුත් ගසක අත්තක එල්ලෙමින් තිබියදී අද (04) දා උදෑසන සොයාගත් බව මත්තේගොඩ ‍පොලිසිය පවසයි.

වයස අවුරුදු 40 පමණ වන මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

කිරිවත්තුඩුව තාක්ෂණ විශ්ව විද්‍යාලය පිටුපස විශාල වපසරියකින් යුත් පාළු ඉඩමක් ඇති අතර විශාල ලෙස කැලෑව වැවුණු මෙම ඉඩමේ පිහිටි නිවස හොල්මන් වලව්ව නමින් හඳුන්වනු ලබයි.

මෙම ඉඩමෙහි මීටර් 50 පමණ ඇතුළට වන්නට පිහිටා තිබූ විශාල කැන්ද ගසක අඩි විස්සක් පමණ උසින් පිහිටි අත්තක එල්ලෙමින් තිබූ මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පුද්ගලයකු දැක ඒ බව 119 හදිසි ඇමතුම් අංකයට දන්වා තිබේ.

පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කහතුඩුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීමේදී මළ සිරුර තිබී හමුවූ ප්‍රදේශය මත්තේගොඩ පොලිස් වසමට අයත් ප්‍රදේශයක් වන හෙයින් එහි විමර්ශන කටයුතු මත්තේගොඩ පොලිසියට භාරදීමෙන් පසුව මළසිරුර බිමට බෑමට පෙර කැස්බෑව මහේස්ත්‍රාත්වරයා කැඳවා ස්ථානය පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගත් බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා බාහිරින් මෙම ස්ථානයට පැමිණ කිසිවකුටත් නොපෙනෙන මෙම ස්ථානයට ගොස් එහි කැන්ද ගසට නැග ලණුවක ආධාරයෙන් මෙසේ ගෙල වැලලාගෙන මිය යන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන්ද කැඳවා පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

මළ සිරුර සොයාගන්නා අවස්ථාවේදී හඳුනාගත නොහැකි තරමට වෙනස් වී තිබුණි.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වන තෙක් සිදු නොකරන බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත සිදු කරයි.

Share This