උසස් පෙළ ප්‍රතිඵල මැයි මස මුල දී

උසස් පෙළ ප්‍රතිඵල මැයි මස මුල දී

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස මැද දී පැවැත්වීමේ විභාග කාලසටහන් මේ වන විටත් සකසා අවසන් ව ඇති අතර පවත්වන ලද අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එම විභාගය පැවැත්වීමට පෙර මැයි මස මුල දී ලබා දීමට උපරිම උත්සාහයක් දරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද ‘පර්යේෂණ උපාධි අධීක්ෂණය කිරීම’ සඳහා දායක වූ ශ්‍රී ලාංකීය පරියේෂණ උපාධි අධීක්ෂකයන් සම්මානයට පාත්‍ර කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවති සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එසේම උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනා වැඩි කිරීමට අදාළ ව පත් කරන ලද ඒකාබද්ධ කමිටුවේ වාර්තා ලැබී ඇති අතර ඉදිරි සති කිහිපය ඇතුළත ඊට අදාළ අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සාමාන්‍ය පෙළ විභාග පරීක්ෂකවරුන් 35,000ක් හා උසස් පෙළ විභාග පරීක්ෂකවරුන් 19,000 පමණ සිටින අතර මේ සියලු දෙනාට සෑහීමකට පත් විය හැකි මට්ටමේ දීමනාවක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම මෙහි දී පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, මේ වර්ෂයට මුදල් වෙන් වී ඇත්තේත් නීත්‍යනුකුල ව පැවැත්වීමට නියමිත වන්නේත් මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවයි.

ජාතික විද්‍යා පදනමේ පර්යේෂණ අංශය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන ප්‍රදානෝත්සවයට ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් සේනාරත්න, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සේපාලිකා සුදසිංහ ඇතුළු නිලධාරීහු එක් වූහ.

Share This