ඩයනාට ඇප

ඩයනාට ඇප

update:-

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

රහස් පොලිසිය ලිඛිත දැනුම්දිමක් කර තිබුණ ද ඔවුන් අධිකරණයේ පෙනී නොසිටින බව මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් සැකකාරියට ඇප නියම කළේය.

ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

එහිදී රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් ද මිලියන 10 ක ශරීර ඇප දෙකක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුවේ පාර්ශව කරුවන්ට හා නීතිඥ ප්‍රජාවට අගතියයක් වන ප්‍රකාශ නොකරන ලෙසට සැකකාරියට තරයේ අවවාද කළේය.


ඩයනා අධිකරණයට පැමිණෙයි

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මීට සුළු මොහොතකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයෝ පැවැසූහ.

තම සේවාදායකයා කිසිවිටෙකත් වහන් වී නැතැයි ද රහස් පොලිසිය මගින් ඇය සොයන බවට මාධ්‍ය මගින් දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරුන් ප්‍රකාශ කර තිබේ.

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව නීතිය අනුව නිසි පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.