වසර 20කට පෙර කල මනුෂ්‍ය ඝාතනයකට පුදගලයන් 06කට මරණ දඬුවම

වසර 20කට පෙර කල මනුෂ්‍ය ඝාතනයකට පුදගලයන් 06කට මරණ දඬුවම

වසර 20කට පෙර සිංහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැවදී පුද්ගලයෙකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරු වූ චූදිතයින් හය දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය  ඊයේ (22) සවස මරණීය දණ්ඩණය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩණය නියම වුයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචි කරුවන් වන  81 හැවිරිදි තිදරු පියෙකු වන සමන් බුලත්ගම,43 හැවිරිදි දෙදෙරු පියෙකු වන සිනිපැල්ලගේ ලලිත් ප්‍රසන්න,80 හැවිරිදි රණසිංහ ආරච්චිගේ ජිනදාස, 46 හැවිරිදි හේවා හල්පගේ වසන්ත,39 හැවිරිදි දිලාන් මංජුල හා 38 හැවිරිදි එච්.එම්.නවරත්න නැමති චුදිතයන් හය දෙනෙකුටය.

චුදිතයින් එක්ව 2003.04.14 වන දින සිංහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැව පදිංචි 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුට අතින් පයින් පොලු වලන් හා මාරක ආයුධ වලින් පහරදි ඝාතනය කර තිබිණි.

කලක් තිස්සේ ගවයින් සම්බන්ධයෙන් පැවති ආරවුලක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකදි චුදිතයින් විසින් අවිවාහක පුද්ගලයෙකු වු විජේසිංහ කංකානම්ගේ නන්දතිස්ස යන අයව මෙලෙස ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට ලද පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත් වූ හම්බන්තොට පොලිසිය චූදිතයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතයින් 21 දෙනා සඳහා 2005.02.25 දින නීති විරෝධී රැස්විමක සාමාජිකයින් වීම,පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළුව අධිචෝදනා 09ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

ඒ අනුව නඩු විභාගය ආරම්භ වු මුල් අවස්ථාවේදිම සියළුම චුදිතයින් අදාල චෝදනා සඳහා නිවැරදිකරු යනුවෙන් පැවසිම හේතුවෙන් නඩුව විභාගයට ගැනුනි.

එහිදී පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව පැමිණිල්ල විසින් චුදිතයින්ට එරෙහිව නගා තිබු අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට සමත් වීය.

ඒ අනුව අධිකරණය හමුවේ ඉදිරිපත් වු සියළු සාක්ෂි සළකා බැළු හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතයින් 21 දෙනාගෙන් 15 දෙනෙකු නිදොස්කොට නිදහස්  කළ අතර අදාල චෝදනා සදහා චුදිතයින් 06 දෙනෙකු වැරදිකරුවන් බවට තීන්දු කෙරුණි.

ඒ අනුව අදාල චෝදනා සදහා වැරදිකරු වු චුදිතයින් හය දෙනා සඳහා මරණීය දණ්ඩනය නියම කෙරුණු අතර චුදිතයින්ට මරණීය දණ්ඩනය පමණුවනතෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි.