වොලිබෝල් දැලක සඟවා රැගෙන ආ කෝටි 19ක් වටිනා කොකේන් තොගයක් අල්ලයි

වොලිබෝල් දැලක සඟවා රැගෙන ආ කෝටි 19ක් වටිනා කොකේන් තොගයක් අල්ලයි

බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහ නමයක් වටිනා කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 500 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සගවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ පෞද්ගලික ආයතනයකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුවන් තැපැල් පාර්සලය ඉකුත් 08/21 දින කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර, ඒ තුළ වූ වොලිබෝල් දැළක උඩ සහ යට දාර වලට අඩි 67 ක් දිග අතිරේක ප්ලාස්ටික් බටයක් ඇතුළු කර, ඒ තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස සගවා තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද පැමිණ සිටි අතර, එහිදී නවතම ක්‍රමයක් භාවිතා කර මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රයත්නය වැළැක්වීමට ක්‍රියා කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත අමාත්‍යවරයා සිය කෘතවේදිත්වය පළ කළේය.

මෙම පාර්සලය භාර ගැනීමට කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනය හිමිකරු විසින් බලය පවරා කටුනායක ගුවන් භාණ්ඩ පරිශ්‍රය වෙත එවා තිබූ පුද්ගලයන් දෙනෙකු ඉදිරියේදී මෙම ගුවන් තැපැල් පාර්සලය විවෘත කළ අතර, ඒ තුළ වූ කොකේන් මත්ද්‍රව්‍ය එහිදී රසායනික පරීක්ෂා කිරීමකට ලක් කර, ඒ බව තහවුරු වීමෙන් අනතුරුව, මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම රසායනික පිරික්සුම් කට්ටල ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ අතර ඒවා මගින් තත්පර කීපයක් වැනි කෙටි කාළයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිසැකව හදුනා ගත හැකි වී තිබේ.

එහෙත් මීට පෙර අවස්ථා වල දී මෙම මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යවා අවශ්‍ය තහවුරු කර ගැනීම සිදු කළ යුතු අතර ඒ සදහා විශාල කාලයක් ද වැය වේ.

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.