යාලෙන් හමු වුණා කියූ ‘චිකිබිල්ලා’ ගැන ඇත්ත හෙළිවෙයි

යාලෙන් හමු වුණා කියූ ‘චිකිබිල්ලා’ ගැන ඇත්ත හෙළිවෙයි

ශ්‍රී ලංකාවෙන් ‘චිකිබිල්ලා’ නමැති සත්වයෙක් හමුවී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව AFP පුවත් සේවය වාර්තා කර තිබේ.

AFP පුවත් සේවයට අනුව, ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක නිලධාරියකු පවසා ඇත්තේ, ‘චිකිබිල්ලා’ වැනි සත්ත්වයකු පිළිබඳ කිසිදු දර්ශනයක් වාර්තා වී නොමැති බවය.

එබැවින්, වඳ වී ගොස් ඇතැයි ප්‍රකාශ කර ඇති ඩයිනොසෝරයකු වැනි සත්වයා එම වනොද්යානයෙන් නැවත මතු වූ බවට සමාජ මාධ්‍යවල පළකෙරෙන වාර්තා අසත්‍ය බව AFP පෙන්වා දෙයි.

වනජීවී විශේෂඥයන් ද AFP පුවත් සේවයට පවසා ඇත්තේ, එවැනි ජීවියෙකු නොමැති බවයි.

අදාළ පින්තූර පරිගණක ඔස්සේ සකස් කර ඇති බවද ඔවුහු පෙන්වාදෙති.

“වඳ වී ගොස් ඇතැයි සිතූ ‘චිකිබිල්ලා’ වසර 103 කට පසු යාල ජාතික වනෝද්‍යානයෙන් සොයාගෙන ඇත” යනුවෙන් 2024 මාර්තු 24 වන දින ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ඡායාරූප කිහිපයක් සංසරණය විය.

එම පින්තූරවල පෙනෙන්නේ අඳුරු වනාන්තර ප්‍රදේශයක කකුල් හතරේ අදාළ ජීවීන් සිටින බවයි.

ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කණිෂ්ක උකුවෙල AFP වෙත පවසා ඇත්තේ, “ශ්‍රී ලංකාවේ ‘චිකිබිල්ලා’ නමින් සතෙක් නැහැ. මටත් සැකයි එහෙම සතෙක් ලෝකේ ඉන්නවද කියලා” යනුවෙනි.

මෙම සටහනේ දැක්වූ ඡායාරූපය පිළිබඳව Reverse Image මඟින් සොයා බැලීමේදී අපට පෙනී යන්නේ මෙම ඡායාරූප පෙළ ඇතුළු තවත් සේයාරූ පෙළක්, Astral Infernum Production නමැති විදෙස් ෆේස්බුක් පිටුවක පළ වී ඇති ඡායාරූප පෙළක එකතුවකින් ලබා ගත් ඡායාරූප 3ක් බවයි.

මෙම ෆේස්බුක් පිටුව පුරාම ඇත්තේ විවිධ ග්‍රැෆික් සහ කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් ඔස්සේ නිර්මාණය කරගත් විවිධ ඡායාරූප ආදියයි. මෙම පිටුවේ ලිපිනය ලෙස දක්වා තිබෙන්නේ එක්සත් රාජධානියේ බෝර්න්මවුත් ප්‍රදේශයයි. මෙහි සටහන්වලින් පෙනී යන්නේ මෙය එවැනි යම් යම් නිර්මාණ සිදුකරන ෆේස්බුක් පිටුවක් බවයි.