චමින්ද විජේසිරි අස්වුණේ කාගේ උවමනාවටද?

චමින්ද විජේසිරි අස්වුණේ කාගේ උවමනාවටද?

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද (09) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.

ඔහු තමන්ගේ කතාව තුළ සිය ඉල්ලා අස්වීම පිළිබඳ නිසි හේතුවක් නොකීවද, මේ දිනවල සමගි ජනබලවේගයට ‘හෝල්සේල්‘ මන්ත්‍රීවරුන් බඳවාගැනීම ගැන නොසතුටින් මේ තීරණය ගෙන ඇතැයි ආරංචි වෙයි.

මේ අස්වීමට හේතුවන සැබෑම කතාව මෙය නම්, එවැන්නකට විරුද්ධව මෙවැනි තීරණයක් ගැනීමට තරම් හයියක් තිබීම ගැන විජේසිරි මන්ත්‍රීවරයා අගය කළ යුතුය.

එහෙත් ලංකාවේ සිද්ධ වෙන දේවල් දිහා බලද්දී අප දන්නා දේ නම් එතරම් සුන්දර දේ සිදුවීමට ඉඩක් නැති බවයි. අනෙක් අතට මෙවැනි ‘සිල්ලර‘ හේතුවකට (දේශපාලනිකව එතරම් ලොකු වාසියක් අත් නොවන) සිය මන්ත්‍රී ධුරය හැර යන්නට තරම් චමින්ද විජේසිරි මුග්ධ නොවන බව අපේ හැඟීමයි.

චමින්ද අස් වුණේ රනිල්ගේ උවමනාවටද?

එසේ නම් සිදුවිය හැකි දේවල් කිහිපයක් තිබේ. ඒ අතර, ‘මහ ඡන්දයක්‘ හෙවත් පාර්ලිමේන්තු මැතිවරණයක් හදිසියේ ලබාගැනීම හෝ ඉක්මන් කරවාගැනීම සඳහා යම් අයෙකුට අවශ්‍ය නම්, විජේසිරි හිටපු මන්ත්‍රීවරයා ලවා එය කරවාගත හැකිය.

නැතත් එය උලුප්පා දක්වා යම් සමාජීය බලපෑමක් සිද්ධ කරන්නට හෝ හැකිය. එහෙත් එවැනි අයෙකුගේ උවමනාවක් වෙනුවෙන් ‘පාර්ලිමේන්තු මන්ත්‍ර ධුරය අතහැර බැස යන්නට නම් එක්කෝ විජේසිරිට සෑහෙන තරමේ වටිනාකමක් ලැබිය යුතුය.

නැතහොත් ඒ උවමනාව ඇත්තා ප්‍රබලයෙකු විය යුතුය. ඇත්තෙන්ම සිදුව ඇත්තේ ඒක නම්, මේ වෙලාවේ පාර්ලිමේන්තු ඡන්දයක අවශ්‍යතාවක් දැඩිව ඇත්තේ කාටද? එවැනි උවමනාවක් ඇති අයවලුන්ගේ නාමාවලියක් සැකසුවහොත් එහි උඩින්ම එන්නේ රනිල් වික්‍රමමසිංහ ජනාධිපතිවරයාය.

මේ වෙලාවේ කෙළින්ම ජනාධිපතිවරණයකට යනවාට වඩා පාර්ලිමේන්තු මැතිවරණයකින් පසු එතැනට යෑම වඩා වාසිදායක බව ඔහු දනී. එය එසේ නම් රනිල් සහ විජේසිරි අතර ඇති විය හැකි එකඟතාව සුළුපටු එකක් විය නොහැක. කෙසේ වුවද මේ අනුමානයේ ඇත්ත නැත්ත බලාගත හැකි වනු ඇත්තේ චමින්ද විජේසිරිගේ ඉදිරි හැසිරීම අනුව ය.

ඇත්තම ඩීල් එක?

චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීම පිටුපස පෙනෙන්නට ඇති තවත් එක් ප්‍රබල කාරණාවක් තිබේ. ඒ ඔහුගෙන් පසු ඒ පුරප්පාඩුව පුරවන තැනැත්තා ය.

චමින්දගෙන් පසු ඒ පුටුවට එන්නේ නයන වාසලතිලක ය. ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්රිඔක්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් ලබාගත්තේය.

මේ පාර්ලිමේන්තුවට තවත් බොහෝ ආයු කාලයක් ඇතැයි සිතන්නට හේතුවක් නැත. හදිසි පක්ෂ මාරු, සන්ධාන බිහි වීම්, ‘දේශපාලන තීන්දු‘ ආදිය ගැන නිතර නිතර ඇසෙන්නට පටන්ගෙන තිබීමත්, 2019 කැලණියෙන් මතු වූ නයා වැනි ලෝකල් අවලෝකිතේෂ්වර පන්නයේ ඩ්‍රාමා රඟදක්වන්නට පටන්ගෙන තිබීමත් නිසා මේ පාර්ලිමේන්තුව විසුරුවන්නට ඔන්න මෙන්න බවට ඉඟි ලැබී තිබේ.

ඉතිං ඒ අස්සේ නයන වාසලතිලකට පාර්ලිමේන්තු එන්නට හිතුණොත් ඊට ඇති හොඳම ‘ඔප්ෂන්‘ එක චමින්ද විජේසිරි‘ ය. මේ පාර්ලිමේන්තුව තවත් ක්‍රියාත්මක වන්නේ මාස හයද, නවයද‍, ඒ කාලය තුළ මන්ත්‍රීතුමෙකු වීමට දැන් නයනට හැකි ය.

අපට පෙනෙන ආකාරයට චමින්දට ඇති හොඳම සහ වාසිදායකම ‘තේරීම‘ද මේක ය. මුදල් අමාරුකම් ගැන නිතර කියවන චමින්ද විජේසිරිට ඊළඟ ඡන්දයට උදව් කරන්නම් යැයි නලින්ගෙන් ලැබෙන සහතිකයම මේ තීරණය ගැනීමට ඇති ය.

අනෙක් පැත්තෙන් ආරංචියේ හැටියට නයන සමගි ජනබලවේගයට මුදල් සපයන ප්‍රධානතම අයෙකි. අනෙක් පැත්තෙන් ජලනි ප්‍රේමදාසගේ නෑයෙකි. මේ කාරණා ඉහත අප කියන කතාවට මුක්කු සපයන හේතු ය.

චමින්දගේ කතාව ගැන තවත් අයට තවත් අනුමාන තිබිය හැකිය. එහෙත් අපට කියන්නට ඇත්තේ චමින්දගේ ඉල්ලා අස්වීම ඔය පෙනෙන තරම් සුන්දර නැති බව පමණය. මේ දවස්වල ‘අවස්ථාව යූස් කරන‘ තවත් දේශපාලන උපායක් ලෙස මිස වෙනත් අර්ථයකින් අපට එය අහුවෙන්නේ නැත.

රටට අවශ්‍ය මේකද?

අප දන්නා කාලයේ සිටම ලංකා දේශපාලනයේ මෙවැනි ‘ජෝගි‘ ඕනෑතරම් අපි දැක ඇත්තෙමු. දැන් ගොනා හැරෙද්දීම ඒ පොල් පැළය කන්නට බව මෙන්ම ඒ කන්නට හදන්නේ කොයි පොල් පැළේදැයි පවා අපි දනිමු. එනිසා දැන් මෙවැනි නාට්‍ය ජවනිකා රටටත්, ජනතාවටත් එතරම් වැදගත් නොවන බව අපි විශ්වාස කරමු.

දරුවන් වඩාගැනීම, ආච්චිලා සිඹීම ආදී යල්පැන ගිය ඇන්දිලි ප්‍රතික්ෂේප කරනවා මෙන්ම දැන් දැන් ජනතාව නිසි ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් සහ වැඩපිළිවෙළක් ඉල්ලා සිටිති.

පපුවට තඩිබාගෙන ‘පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම‘ කියා මොරදෙන පෞරුෂය වෙනුවට ‘කියන දේ කරන – කරන දේ කියන, ඍජු තීන්දු ගන්නා පෞරුෂයක් ඔවුහු ඉල්ලා සිටිති.

එමෙන්ම හොරා හොරා හොරා කියමින් දවස තිස්සේ මන්තරය මෙන් මතුරන ‘එදා වේල දේශපාලකයන්‘ ට වඩා කළයුත්තේ මේක යැයි පැහැදිලිව කියන්නට හැකි අයෙක් ඇත්දැයි ජනතාව සොයති.

ඒ නිසා මේ පැමිණ ඇත්තේ දේශපාලනයේ ‘ජනතාවගේ හෝරාව‘ යි. චමින්ද විජේසිරිලාට අමතක වී ඇත්තේ තමන් ‘මෙගා නාට්ටි‘ පෙන්නන්නට හදන්නේ එහෙව් ජනතාවකට බව යි.

–  විශේෂ ලියුම්කරු කඩදොර රංග

Share This