වඩුන්නාගලින් මතු වී ගෝඨාගේ පොත වමාරන කැලණියේ නයා

වඩුන්නාගලින් මතු වී ගෝඨාගේ පොත වමාරන කැලණියේ නයා

ගිය සිකුරාදා පාන්දර උඩ ගිහින් ඇහැරුණේ මහා ජන ගෝසාවක ශබ්දයෙනි.

දනි පනි ගා ඇඳෙන් පැන්න මම ගෝල්ෆේස් පැත්ත බැලුවේ ආයෙත් අරගලයක් ඇවිත්දෝයි යන සිතුවිල්ල ඔළුවේ කැරකෙද්දී ය.

නැත, ඒ පැත්ත හැලහොල්මනක් නැත. අඩුම තරමේ ඩී.එස්. සේනානායකගේ ඔළුවේ වසා සිටින කාක්කා “මීක්” කියන්නේවත් නැත.

එහෙම නම් මට ඒ සද්දය ඇහෙන්නට ඇත්තේ හීනෙන් යැයි හිත හදාගන්නට හදද්දීම ආයෙත් ඒ ශබ්දයම ඇහෙන්නට ගත්තේය.

සිංහල බෞද්ධ ටෝන් එකෙන් එන ඒ ශබ්දය කොහෙන්දැයි විමසද්දී දැක්කේ ඒක එන්නේ ෆේස්බුක් එකෙන් බව ය.

වහාම ජංගම දුරකථනය අතට ගෙන බැලීමි.

හත්දෙයියනේ, කූරගල සීන් එකේම ඩුප්ලිකේට් සීන් එකක් සිද්ධ වෙනවාය.

ඒ උතුරේ නැදුන්කර්නි පැත්තේය.

වඩුන්නාගල පබ්බත විහාරයේ අයිතිවාසිකම ගැන දමිළ සිංහල කෝන්තරයක් හදාගන්නට දත කන සේයාවක් ඒ විරෝධය ඇතුළේ බැලූ බැල්මටම පෙනෙන්නට තිබූ හෙයින් රහස් කවුළුවෙන් උතුර බලා විමසන්නට තීරණය කළෙමි.

ඇත්තය, වඩුන්නාගල දෙමළුන්ගෙන් බේරාගන්නට සිංහල බෞද්ධ යක්ඛ පුත්තු සහ දියණියෝ සෙට් එකක් බැහැලා වැඩ ය.

ශිව රාත්‍රී දිනයම ඒකට යොදාගෙන තිබීම තවත් ආතල් ය.

මේ ගමනට එක්වන අයට කොළඹින් වවුනියා යන්නට දුම්රිය ටිකට්, බස් ආදී සියලු පහසුකම් ද සලස්වා ඇත්තේය.

මෙච්චර පහසුකම් ලබා දී මේ බේරාගන්නට යන්නේ කුමක්ද?

මේ ගැන හොයා බලනවිට දැනගන්නට ලැබෙන්නේ මෙය අනුරාධපුර මුල් යුගයට අයත් පුරාවිද්‍යා ස්ථානයක් බවයි.

නමුත් මේ මෑතක සිට එය දමිළ සහ හින්දු යම් අන්තවාදී පිරිස් දෙකක් විසින් අර්බුදයට ලක් කරමින් සිටින අතර, වරක් පිරිසක් එහි පුරාවිද්‍යා නටබුන් විනාශ කොට ශිව ලිංගයක් තබා ගොස් තිබිණි.

මේ ශිවරාත්‍රී දිනයේ එතැන පූජාවක් සංවිධාන කර තිබිණි. අවසානයේ එය පොලීසිය සමග ගැටුමක් දක්වා දුරදිග ගිය බව අසන්නට ලැබිණි.

ඔය අතරේ දකුණෙන්ද කෝච්චි පුරවා, බස් පුරවා ශිවරාත්‍රී දිනයේම වඩුන්නාගල යන්නට සැලසුම් කිරීමෙන් පෙනෙන්නේ එදා අනිවාර්යයෙන් එතැන ජාතීන් අතර ගැටුමක් ඇති කරගන්නට සූදානමක් තිබූ බව නොවේද?

මේ උවමනාව කාගේද?

මෙරට මෑතකාලීන ඉතිහාසයේ ජාතීන් අතර විරසකය නිර්මාණය කරමින් බලයට ආ යමෙක් වේ නම් ඒ පොහොට්ටුව සහ ඊට අනුබද්ධ දේශපාලන බලවේගයි.

මේ වතාවේද මේ සෙල්ලම කරන්නේ ඒ පිරිසම බවට සැකයක් නැත.

මේ සිද්ධිය ෆේස්බුකියේ අවුළුවන පිරිස් ගැන හොඳින් නිරීක්ෂණය කරන්නේ නම් ඒ බව දැනගත හැකිය.

ඒ අතරේ ධුරයෙන් නෙරපූ ගෝඨාභය රාජපක්ෂ දැන් ජීවත් වෙන්නට අලුත් රස්සාවක් හොයාගෙන බව දැනගන්නට ලැබුණේය.

ඒ පොත් ලිවීමයි. ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ නමින් ඔහු සිය පළමු පොත ලියා තිබේ.

එහි අලෙවිය කොතෙක්ද යත් එය නිකුත් වූ දිනයේ පවා එම පොත කිසිදු පොත්හලකින් මිලදී ගන්නට නොහැකි තරමට එය අලෙවි වී තිබිණි.

කඩෙන් ගන්නත් කඩේට පොත දාන්නෙපැයි යනුවෙන් මේ පහළ සිටි කොල්ලො කුරුට්ටන් රෑනක් සමච්චල් කළද, අඩුම තරමේ ඒ පොතේ පිටපත් ලක්ෂයක්වත් අඩුම තරමේ එදින පැය දෙක තුනට විකිණෙන්නට ඇතැයි හිතන්නට අපි කැමතිය.

ඒ කොහොම වුණත් දැන් ඔය අගනා වටිනා පොත කියවන්නට පීඩීඑෆ් එකක් ලීක් වෙනකං ඉන්නෙපැයි විස්සෝපෙයෙන් සිටින විට මට වට්ස්ඇප් හරහා ඒක ලීක් විය.

ඉතිං මම සියලු වැඩ පසෙකලා එය කියවීමි.

පොතේ පිටු 193කි. මට ලැබුණු පිටපතේ ISBN අංකයක් නැත.

ඒ නිසා එය ලියාපදිංචි පොතක් නොව කොළපොතක් යැයි ගැනිය හැකිය.

මුද්‍රණයක් හෝ ප්‍රකාශකයෙක් ගැන සඳහනක් නැත.

එක්කෝ ඒ මිනිස්සු ඒ පොතට තමන්ගේ නම දානවාට අකමැතිවා විය හැකි ය.

කොහොම නමුත් ඒ පොත ආතල්ය.

කවරයේ තමන් ජනාධිපති ධුරයෙන් නෙරපූ බව කියන ගෝඨා, පොතේ හැඳින්වීමේදී ඉල්ලා අස් වූ බව කියයි.

ආයෙත් තැනක තමන් ධුරයෙන් එළවූ බව කියයි.

කලින් වතාවේ පොත සී.ඒ. චන්ද්‍රප්‍රේම ලවා ලියවාගෙන මේ වතාවේ පොත බන්දු සමරසිංහ ලවා ලියවාගත්තාක් මෙන් හැඟීමක් ඒක කියවද්දී මට දැනී ගියේය.

ඔය පොත ගැන කියන්නට නම් කාරණා එමටය.

එහෙම කියන්නට ගියොත් මේ කියාගෙන යන කතාවට බාධා සිද්ධ වෙනවාය.

ඒ නිසා ආපහු ට්‍රැක් එකට එන්නට ඕනෑය.

වඩුන්නාගල මේ වතාවේ විරෝධයත්, ගෝඨාගේ පොතත් දෙකම එළියට ආවේ එක විට ය.

වඩුන්නාගල සිද්ධිය දේශපාලනික වාසියකට කරන එකක් බව පොඩි බබෙකුට වුණත් පැහැදිලිය.

එතකොට ඒකට ගෝඨාගේ පොතේ ඇති සම්බන්ධය මොකක්ද?

පොත හරියට කියවන කෙනෙකුට නම් ඒ හීනි ලයින් එක ලොකු තැනකින් අහු වෙන්නේය.

ගෝඨා ඒ පොතේ 192 වැනි පිටුවේ මෙසේ ලියයි.

“මා බලයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතු තුන මගේ ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී.

එනම්, සිංහලයන් සහ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් තමන්ගේම රට තුළ අවමානයට ලක් වෙමින් දෙවැනි පෙළට වැටී සිටීම, රටේ දැවැන්ත ණයගැති භාවය හා ආර්ථිකයේ පිරිහීම සහ බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැටීම යන කාරණා තුනය.

මේ නොවිසඳුණු ගැටලු අනාගතයේ වෙනත් නායකයකුට විසඳීමට සිදු වනු ඇත.

මේ අවස්ථාවේ මගේ බලවත් ප්‍රාර්ථනාව වන්නේ ශ්‍රී ලංකාව මෙම නායකයා නොපමාව සොයා ගනු ඇතිය යන්නයි.”

ගෝඨාගේ පොතේ බළලා මල්ලෙන් එළියට පනින්නේ එතැනදීය.

දැන් ඉතිං අපට පණ දාගෙන ඔය ප්‍රශ්නය විසඳන නායකයා නොපමාව හොයාගන්නට සිදු වෙනවාය.

නැත්නම් ඉතිං මේ සිංහල බෞද්ධ ජාතියට හෙණ ගහලා විනාශ වෙලා යනවාය.

දැන් ඉතිං යන්තමින් හෝ කල්පනා කරන කෙනෙකුට වඩුන්නාගල සහ ගෝඨාගේ පොතේ සම්බන්ධය එකට ගැටගසාගන්නට හැකි විය යුතුය.

ඒ එක්කම මේකට තවත් එක පුරුකක් එකතු කරගන්නටද ඕනෑ ය.

මේ වෙලාවේ ඔය සිංහල බෞද්ධ කෝටාව ෆෝම් කරගැනීම වාසියක් කරගත හැක්කේ කාටද යන්නයි.

ඒ ගැන කරුණු කාරණා පෙළගස්වාගෙන යද්දී නම් ලිස්ට් එකේ උඩටම එන්නේ දිලිත් ජයවීරය.

ඔය ගැන මං මේ කවුළුව අයිනේ වසා සිටි කපුටෙකු සමග කතා කරමින් සිටින විට ගිරවෙක් කියාගෙන ගියේ ඔය ගෝඨාගේ පොත ගහන්නට වියදම් කර තිබෙන්නේද දිලිත් ජයවීර බවයි.

ඔය ගිරවු කියන දේවල් නම් සත පහකට විශ්වාස කළ යුතු නැත.

හැබැයි දිලිත් එහෙම නොකරනු ඇතැයි සහතික දෙන්නටද බැරිය.

ඉතිං පොත කළේ දිලිත් නම් ඔහුගේ ගේම පැහැදිලිය.

කැලණියෙන් නයෙක් මතුකළ දිලිත්ට වඩුන්නාගලින්ද නයෙක් මතු කරන එක ගේමක්ම නැතැයි අපි කියන්නේ ඒකය.

ඒ නිසා ඔය මේ කාලයට මතු වී නැති වී යන පොඩි පොඩි හුදෙකලා සිද්ධීන් ගැන ටිකක් අවධානයෙන් හිටියාට කම් නැත.

බලයට එන්නට බෝම්බ ගැහුවාය කියා කවුදෝ කීවාක් මෙන්, මේ රටේ බලය ලබාගන්නට තවත් යුද්ධයක් වුණත් පටන්ගන්නට මේ අයියලාට කිසිසේත්ම බැරි නැත.

කොත්මලේ රංග

Share This