මුලතිව් හි වැසිකිලි වලකින් බෝම්බ සහ මෝටාර් උණ්ඩ හමුවෙයි

මුලතිව් හි වැසිකිලි වලකින් බෝම්බ සහ මෝටාර් උණ්ඩ හමුවෙයි

මුලතිව් පොලිස්වසමේ අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක සඟවා තිබූ මෝටාර් උණ්ඩ සහ අත්බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඊයේ (10) සවස සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

අදාල ඉඩමේ අයිතිකරු විසින් නැවත පදිංචි වීමෙන් පසුව ඉඩම සංවර්ධනය කිරීමේ අරමුණින් යුතුව සිය ගෙවත්තේ පැවති පැරණි වැසිකිළි වළක කොන්ක්‍රීට් ආවරණයක් ඉවත් කිරීමට යාමේදී මෙම බෝම්බ තොගය දැක ඇති බවත් පසුව ඉඩම් අයිතිකරු විසින් මුලතිව් පොලිසියට මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් පසුව පොලීසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කල දැනුම්දීමක් මත අධිකරණ නියෝගයක් යටතේ අදාළ ස්ථානයේ කැනීම් සිදුකර ඇත.

මෙම කැනීම් කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිළධාරීන් හා මුලතිව් පොලිස් නිළධාරීන් සහභාගී වූ අතර එහිදී සිදුකල කැනීම් වලදී වැසිකිළි වලෙහි සඟවා තිබී අත්බෝම්බ 56 ක්, මිලිමීටර 82 වර්ගයේ මෝටාර් උණ්ඩ 49 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, ෆැරා උණ්ඩ 14 ක්, ආර්.පි.ජි උණ්ඩ හයක් සොයාගනු ලැබීය.

අවසන් යුද්දය පැවති සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් මෙම බෝම්බ තොගය මෙම ස්ථානයේදී වලදමා පලා යන්නට ඇතැයි පොලීසිය සැකපල කරයි.

සොයාගත් බෝම්බ තොගයන් මුලතිව් අධිකරණයේ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෙන් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Share This