සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළී 60ක් ජීවිතක්ෂයට

සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළී 60ක් ජීවිතක්ෂයට

බටහිර අප්‍රිකාවේ Cape Verde වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

අනතුරින් ළමුන් ඇතුළු තිස්අට දෙනෙකු බේරා ගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මාසයකට වැඩි කාලයක් මොවුන් මුහුදේ සිට ඇති අතර බෝට්ටුවේ සිටි සියලු දෙනාම සෙනගාලයේ සිට පැමිණි අය බවටයි වාර්තා වී ඇත්තේ.

තවදුරටත් මෙලෙස සිදුවන ජීවිත හානි වැළැක්වීම සඳහා සංක්‍රමණය පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස Cape Verde නිලධාරීන් ඉල්ලා ඇති බවද සඳහන්.

Cape Verde හි Sal සිට කිලෝමීටර් 320 ක් පමණ දුරින් තිබූ මෙම බෝට්ටුව ස්පාඤ්ඤ ධීවර බෝට්ටුවක් විසින් දැක ඇති අතර පසුව එය බලධාරීන්ට දැනුම් දුන් බව එරට පොලිසිය පැවසීය.

දිවි ගලවා ගත් අය අතර වයස අවුරුදු 12 ත් 16 ත් අතර ළමුන් සිව් දෙනෙකු සිටින බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

මේ අතර සෙනගාලයේ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, බෝට්ටුව ජූලි 10 වන දින මගීන් 101 දෙනෙකු සමග එරටින් පිටත්ව ඇති බවයි.

දිවි ගලවා ගත් අය නැවත ගෙන්වා ගැනීම සඳහා Cape Verde හි බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවද සෙනගාලයේ විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Share This