යතුරු පැදි සොරාගෙන පාතාලයන්ට විකිණූ ජාවාරමක් කොටුවෙයි

යතුරු පැදි සොරාගෙන පාතාලයන්ට විකිණූ ජාවාරමක් කොටුවෙයි

පාතාල සාමාජිකයන්ට කුළියට මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සදහා යොදා ගැනීමට , සොරකම් කර යතුරු පැදි අලෙවි කළ තරුණයන් දෙදෙනෙකු මිනුවන්ගොඩ පොලිසිය මගින් ඉකුත් 14 දින අත්අඩංගුවට ගෙන , රදවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි .

මොවුන් අතරින් එක් අයෙකු 31 හැවිරිදි උඩුගම්පොළ , කෙහෙල්බද්දර ජූඩ් නොහොත් සුබසිංහ ආරච්චිගේ තරිඳු ජූඩ් ලක්මාල් පෙරේරා වන අතර අනෙක් පුද්ගලයා උඩුගම්පොළ , පතහවත්තේ සුද්දා නොහොත් වික්‍රමහෙට්ටි කොන්තිලාගේ හසිත ප්‍රසාද් කුමාර නැමැති අයයි .

මොවුන් මිනුවන්ගොඩ , දෙවලපොළ ප්‍රදේශයේ යතුරු පැදියක් සොරකම් කර පළා යමින් සිටියදී මෙහි දෙවන සැකකරු වන පතහවත්තේ සුද්දා 14 දින මිනුවන්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන , රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම් වලදී මෙම සියල්ල අනාවරණය කර ගෙන තිබේ .

මොවුන් වයි.එක්ස්.- 6690 දරන ත්‍රිරෝද රථයෙන් ගොස් මිනුවන්ගොඩ , යක්කල , වීරගුල , වැලිවේරිය , ගම්පහ , ජා – ඇළ , නිට්ටඹුව , කටාන , කටුනායක යන ප්‍රදේශ වල මාර්ග වල යතුරු සහිතව නවතා ගොස් තිබූ , ” කාන්තාවන් විසින් පදවන යතුරු පැදි ” 17 ක් මෙසේ සොරකම් කර පාතාල ක්‍රියාකාරකම් සදහා අලෙවි කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන කටයුතු වලදී අනාවරණය කර ගෙන තිබේ.

මෙසේ සොරා ගත් යතුරු පැදි අතරින් මේ වනවිට යතුරු පැදි 11 ක් සොයා ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය සමත් වී තිබූ අතර මෙම යතුරු පැදි සොරකම සදහා යොදා ගත් ත්‍රිරෝද රථය ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

පසුගිය දා හොරණ ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනය සදහා යොදා ගෙන තිබූ යතුරු පැදිය ද මොවුන් දෙදෙනා විසින් සොරා ගෙන එම පාතාල සාමාජිකයන්ට අලෙවි කර තිබූ එකක් බවට මිනුවන්ගොඩ පොලිසිය කරුණු අනාවරණය කර ගෙන තිබේ .