පරිගණක ඉංජිනේරුවරයකු අභිරහස් ලෙස මරුට

පරිගණක ඉංජිනේරුවරයකු අභිරහස් ලෙස මරුට

හෝමාගම පිටිපන දෙමහල් නිවසක උඩුමහලේ කාමරයක් තුළ තිබී දින හතරකට පමණ පෙර අභිරහස් ලෙස මියගිය බවට සැකකෙරෙන පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, හෝමාගම පිටිපන උතුර, කිරිබේරිය කැලේ, අංක 546 / 01 හි පදිංචි ගාමිණී මෙන්ඩිස් ගුණසේකර නමැති (61) හැවිරිදි පරිගණක ඉංජිනේරුවරයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා විවාහක බිරිඳගෙන් වෙන්ව සිය මව, පියා සහ සහෝදරිය සමඟ මවගේ නිවසේ වාසය කර ඇති අතර මාපියන් පහල මාලයේ සහ මොහු උඩුමහලයේ වාසය කර ඇතැයි පැවසේ.

මේ අතර මොහු පහළ මහලට නොපැමිණීම නිසා සොයා බැලීමට මාපියන් සමඟ සිටින සහෝදරිය ඉකුත් 18 දා උඩු මහලට ගොස් සොයා බලා ඇති අතර ඔහු නිවසේ පෙනෙන්නට නොමැතිවීම නිසා යළිත් පහළ මහලට පැමිණ තිබේ.

ඉන් පසුව ඉකුත් 21 දා උදෑසන මිතුරෙකු සමග යොදාගත් ගමනක් යාමට නොපැමිණීම නිසා එම මිතුරා මාපියන්ට දුරකථනයෙන් අමතා පවසා ඇත්තේ දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගත්තත් ඊට ප්‍රතිචාර නොදක්වන නිසා සොයා බලා දන්වන ලෙසයි.

ඒ අනුව, සොහොයුරිය උඩුමහලට ඇතුළුවීමට යන අවස්ථාවේදී අධික දුගඳක් වහනය වීම නිසා විපරම් කර බැලීමේදී උඩුමහලේ කාමරයක ඇඳක් පිටුපස බිම වැටී සිටිනු දැක තිබේ.

පසුව සැකසිතී මාපියන්ට දන්වා පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ හඳුනාගත නොහැකි තරමටම නරක් වී දුගඳ හමමින් තිබූ පුද්ගල මළ සිරුර සොයා ගත් බව පොලිසිය පවසයි.

දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියයන්නට ඇති බවට සැක කරන පොලිසිය පවසන්නේ ඉකුත් 18 දා සොහොයුරිය උඩුමහලට යන අවස්ථාවේදී මොහු මියගොස් ඇති බවත් එහිදි මෙම පුද්ගලයා පිළිබඳව හොඳින් සොයා බැලුවේ නම් මීට පෙර මෙම මළසිරුර සොයාගැනීමට හැකිවන බවයි.

ඒ අනුව, සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළේය.

ඒ අනුව, අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයාගේ මරණයට හේතුව සොයා අද (22) දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

මියගිය පුද්ගලයා පරිගණක ඉංජිනේරුවරයකු ලෙස මෙරට සහ පිටරට සේවය කළ අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත පො.කො (24336) විජිත පීරිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.