අම්බානි පුතුගේ විවාහ උත්සවයට ලංකාවෙන් සූපවේදීන් පිරිසකුත් එක්වෙලා

අම්බානි පුතුගේ විවාහ උත්සවයට ලංකාවෙන් සූපවේදීන් පිරිසකුත් එක්වෙලා

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානිගේ (Anant Ambani) විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සදහා ශ්‍රී ලංකාවෙන් සූපවේදීන් 13 දෙනෙකු තෝරා ගෙන රැගෙන ගොස් තිබූ අතර ඔවුන් අද (07) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඔවුන් “සිට්‍රස්” (Citrus) හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ සිට්‍රස් හෝටලයේ “සිලෝන් කරි ක්ල්බ්” (Ceylon Curry Club) අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි.

මෙම සූපවේදීන් පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගැයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබුණි.

ශ්‍රී ලාංකික සූපවේදීන් ශ්‍රී ලංකාවට ආවේනික වූ ආහාරපාන, නවතම ක්‍රම වලට පිළියෙල කර පිරිනැමීම මෙම අවන්හල තුළ දී සිදු කර ගෙන ගොස් තිබුණි.

මෙම පිරිසට සූපවේදීන් 12 දෙනෙකු සහ එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටියහ.

ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට මාර්තු මස 03 වන දින එම විවාහ මංගල්‍යයට සහභාගී වන පිරිස සදහා දිවා ආහාර පිළියෙල කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර, ඔවුන් පිළියෙල කළ ආහාර වලට පැවති ප්‍රතිචාර, පැසසුම් මත තවත් අතිරේක දිනයක් ලෙස 04 වැනි දින ද එම උත්සවයේ රාත්‍රී ආහාර ද පිළියෙල කිරීමේ වගකීම සහ අවස්ථාව ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට හිමි වී තිබුණි.

විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ “ජාම්” නගරයේ දී අම්බානි මහතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක දී පවත්වා තිබේ.

විවාහ මංගල උත්සවයට ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසට අමතරව එංගලන්තය, ඩුබායි, චීනය සහ ඉන්දියාවේ සූපවේදීන් කණ්ඩායම් ද කැදවා තිබුණි.

මෙම සූපවේදීන් පිරිස අද උදෑසන 06.20 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Share This