ණය බරින් මිදෙන්න ලක්ෂ 20කට බෙලිඅත්තේ 5ක් මැරූ කුලී ඝාතකයා

ණය බරින් මිදෙන්න ලක්ෂ 20කට බෙලිඅත්තේ 5ක් මැරූ කුලී ඝාතකයා

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප්‍රධාන කුලී ඝාතකයාවූ පල්ලෙවෙල මුද්දරගම පදිංචිව සිටි විශ්‍රාමික නාවික හමුදා සෙබලා මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා ගන්නේ තමන් සිරවී සිටි දැඩි ණය බරින් මිදීමට බව විමර්ශන වලදී හෙළි වී තිබේ.

නාවික හමුදාවේ වසර 22ක සේවයකින් පසු විශ්‍රාම ලබා සිටින සෙබළෙක් වන ඔහු චමිපික ප්‍රසන්න කුමාරය.

 

පල්ලෙවෙල පොලිස් වසමේ පාතගම, මුද්දරගම පදිංචිකරුවෙක් වන ඔහුව මෙම ප්‍රහාරයට සම්බන්ධ කරගෙන ඇතැයි පැවසෙන්නේ බූස්සේ හර්ෂ නැමැති අපරධකරු විසින් . ඒ ඔවුන් දෙදෙනා නාවික හමුදා සේවයේ එකට සිටියදි ඇතිකරගත් මිත්‍රත්වය මුල් කරගෙනය.

විමර්ශන වලින් මේ වන විට හෙළිවී ඇති අකාරයට අනුව මෙම නාවික සෙබළා බෙලිඅත්තේ ප්‍රහාරයට සම්බන්ධ වී ඇත්තේ දැඩි අගහිඟකම් වලින් මිරීකී සිටි බැවින් එයින් මිදීමට මඟක් ලෙසිනි.

ඒ හතර වටේටම ණය වී නිවෙසේ ඔප්පුව පවා උකසකට තබා ඇති පසුබිමකය.

බූස්සේ හර්ෂ මේ වැඩේට ඔහුව සම්බන්ධ කරගෙන ඇතැයි පැවසෙන්නේ රුපියල් ලක්ෂ 20 මුදල් පොරොන්දුවක් මතය.

ඒ ලද මුදල් වලින් ඔහු ග්‍රාමීය බැංකුවට ඔප්පුව උකසට තබා ලබාගත් ලක්ෂයකට ආසන්න හිග ණය මුදල ඇතුළු හතර වටේට තිබුණු ණය ගෙවා දමා තිබුණේය.

ණය බරින් මිරිකී සිටි ප්‍රසන්න කුමාර ණය බරින් නිදහස් වෙමින් බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ වන්නට මුද්දරගම පිහිටි සිය නිවෙසින් පිටත්ව යන්නේ 21 වෙනිදා සවස් කාලයේදීය.

මගී බස් රථ කිහිපයකට මාරු වෙමින් ඔහු කඹුරුපිටියට පැමිණ ඇත්තේ 22 වෙනිදා උදෑසනය.

එදා ඔහුව ජිප් රථයට ගොඩ කරගත්තේ යැයි කියැවෙන්නේ ද කඹුරුපිටියෙනි. එදා ඔහු සිය බිරියට බෙලිඅත්තේ සිට දුරකතන ඇමතුමක් ගෙන පවසන්නේ තමාගේ දුරකතනය නැති වූ බවය. එම ඇමතුම පවා ඔහු ලබා ගත්තේ යැයි කීවේ ත්‍රීරෝද රථ රියදුරෙකුගෙනි.

ප්‍රසන්න කුමාර සතුව ඒ වන විට දුරකතනයක් නොවූ බැවින් එතැන් පටන් ඩුබායි සිටි හර්ෂ වට්ස්ඇප් ඇමතුම් ඔස්සේ සම්බන්ධ වූයේ යැයි කියන්නේ ප්‍රසන්නගේ බිරිය සමගිනි.

ප්‍රසන්න බිරියට ඇමතුම් ගෙන හර්ෂ ලබාදුන් පණිවුඩ දැනගෙන ඇති බව විමර්ශකයන් පවසයි.

ඒ විමර්ශන තොරතුරු වලින් ඒ දේවල් හෙළිවී ඇති බැවිනි.

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ මෙම පංච පුද්ගල ඝාතනයට ප්‍රසන්න කුමාරගේ බිරියගේ ද සක්‍රීය දායකත්වයක් ලැබී ඇති බවය.

ඒ ගැන හැම තොරතුරක්ම හෙළිවන විට ප්‍රසන්න කුමාර රටෙත් නැත. ඒ ඔහු ඩුබායි බලා පලා ගොස් ඇති බැවිනි.

ඝාතනය සිදුවූ දා කඹුරුපිටියෙන් ජිප් රථයෙන් බැස මාතර බලා යන බස් රථයක නැඟී අතුරුදන්වූ මෙම පුද්ගලයා ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති මුහුණු මගින් පුද්ගලයන් හඳුනා ගන්නා දත්ත පද්ධතියට යොමුකරනු ලැබු බව පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණත් ඝාතනයෙන් සතියකට පසු සිය සැබෑ ගුවන් ගමන් බලපත්‍රයෙන් කටුනායක ගුවන්තොටුපල හරහා ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඇති අයුරු හෙළි වි ඇත.

විමර්ශකයන්ට අනුව සමන් පෙරේරා ඇතුළු පිරිස මරා දමා නැවතත් කඹුරුපිටියෙන්ම ජිප් රථයෙන් බසින ප්‍රසන්න කුමාර මගී බස් රථ කිහිපයකටම මාරු වෙමින් පැමිණෙන්නේ මීරිගම පිහිටි මිතුරකුගේ නිවෙසකටය.

Beliatta

දින කිහිපයක්ම එම නිවෙසේ ගත කළ ඔහුට ඇඳුම් පැළඳුම් ගෙනවිත් දී ඇත්තේ බිරිය නිරෝෂනී විසිනි.

මේ කාලය තුළ ඩුබායි හි රැඳී සිටින නිපුන නැමැති කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් විසින් ප්‍රසන්න කුමාර ඩුබායි ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළේය.

ඒ ප්‍රසන්නගේ නීත්‍යානුකූල විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු වලට අනුව ගුවන් ටිකට්පත් සහ වීසා බලපත්‍ර ද ලබා ගනිමිනි.

සියල්ල සූදානම් කර ගැනීමෙන් අනතුරුව මීරිගම මිතුරාගේ නිවෙසින් ඔහු පිටත්ව යන්නේ 28 වෙනිදාය. ඒ පාන්දර ජාමයේය. බිරියගේ සහෝදරයා විසින් රැගෙන ආ වෑන් රථයකින් මීරිගමින් පිටත් වූ ඔහු ඩුබායි බලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත්ව ගියේ යැයි කියැවෙන්නේ 29 වෙනිදාය.

ඒ ඩුබායි බලා කටුනායකින් එදින උදෑසන 9.40ට ඩුබායි බලා පිටත් වූ ගුවන් යානයක නැඟීය. ඊට පෙර ඔහු සිය බිරිය හා දරුවන් සමඟ කාලය ගත කර ඇත්තේ නිවෙසින් පිටතය.

ප්‍රසන්න කුමාර බෙලි අත්තේ ප්‍රධාන වෙඩික්කරුවෙක් බව හඳුනා ගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමකි.

විශේෂ කාර්ය බළකා නිලධාරීන් සියල්ල හෙළි කර ගැනීමෙන් අනතුරුව ප්‍රසන්නව කොටු කර ගැනීමට ඔහු පදිංචි මුද්දර නිවෙසට කඩා පනින විටත් ඔහු ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් හමාරය.