දින 5ක් වයසැති බිළිඳිය හොඳම යෙහෙළියට දී මව මාරු වෙලා

දින 5ක් වයසැති බිළිඳිය හොඳම යෙහෙළියට දී මව මාරු වෙලා

දින 5ක් වයසැති බිළිඳිය, ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

හෝටල් කාමරය තුළ දී බිලිඳියට මවුකිරි දී හදිසි ගමනක් ගොස් එන තෙක් දරුවා හොඳින් බලා ගැනීමට යැයි කියා යෙහෙළිය පිටත්ව ගිය බවත් සවස් වන තෙක් නොපැමිණි බවත් කියමින් විසිතුන් හැවිරිදි තරුණියක සිඟිති දරුවා වඩාගෙන ගලේවෙල පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළාය.

පුත්තලම මූලික රෝහලේ දී තම යෙහෙළිය දරුවකු ප්‍රසූත කළ බවත් ඇය ද, ඇය ප්‍රසූත කළ දරුවා ද කැටුව ඉකුත් 4 වැනිදා ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණ කාමරයක් කුලියට ගෙන නවාතැන් ගෙන සිටි බවත් බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය පැවසූ බව පොලීසිය කියයි.

බිලිඳිය හොඳම යෙහෙළිය රවටා ඇයට භාර දී පලා ගිය කාන්තාව වැලිමඩ, මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනැත්තියකි.

පොලිසිය භාරයට ගත් දින 5ක් වයසැති බිලිඳිය දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කල බව පොලිසිය පවසයි.

බිලිඳිය රැගෙන පොලීසියට පැමිණි විසිතුන් හැවිරිදි තරුණිය ද ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායමක් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යයි.

Share This