අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් භාරගැනීම අද සිට

අස්වැසුම දෙවන අදියරට අයදුම්පත් භාරගැනීම අද සිට

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකන්ට යටත්ව පරීක්ෂා කරන බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඒ අනුව, ඔවුන්ට හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු කෙරෙන බව සඳහන්.

දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

“අයදුම්පත්‍ර ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙන සියලුදෙනාටම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකියි. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති විශේෂ ඒකකවලටත් ලබාදිය හැකියි. අපි බලාපොරොත්තු වෙනවා මාසයක කාලයක් අස්වැසුම අයදුම්පත්‍ර කැඳවීමට. පළමු වටයේ ලක්ෂ 20ක් සඳහා අස්වැසුම ලබාදුන්නා. දෙවැනි වටයේ දී එය ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයේ දී සහතික කරලා ඔවුන්ට අවශ්‍ය සුබසාධන දීමනා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස මේ වසර තුළ රු බි 205ක මුදලක් රජය විසින් සුබ සාධනය සඳහා වැය කිරීමට බලාපොරොත්තු වෙනවා.”