ඉහළ ගිය කැරට් මිල පහළට

ඉහළ ගිය කැරට් මිල පහළට

පසුගිය දිනවල රුපියල් 2,500ක් දක්වා ඉහළ ගිය කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ (14) වන විට රුපියල් 600ක් දක්වා අඩු වී තිබෙන අතර, බොහෝ එළවළුවල මිල පසුගිය දිනවලට සාපේක්ෂව යම් මුදලකින් අඩුවී තිබේ.

මීට අමතරව සහල්වර්ග කිහිපයකම මිල රුපියල් 200ට අඩු අගයක් ගෙන තිබුණද, සම්බා හා කීරි සම්බා සහල් හිඟයක් ඇති වී තිබේ. පවතින හිඟය නිසා කීරි සම්බා කිලෝ 05ක පැකට්ටුවක් රුපියල් එක්දහස් අටසියය දක්වා ඉහළ මිලකට අළෙවි කරමින් තිබෙන බවද පාරිභෝගික ජනතාව සඳහන් කරති.

රුපියල් 1,300ක් ලෙස අදාළ පැකට්වල මිල සඳහන් කර තිබුණත්ඇසුරුම් කරන ලද කීරි සම්බා කිලෝ 05ක් රුපියල් 1,800කට හා රුපියල් 1,150ක් ලෙස සඳහන් කර තිබෙන ඇසුරුම් කරන ලද සම්බා කිලෝ 05ක් රුපියල් 1,600ක මිලකටත් අළෙවි කරමින් තිබේ.

නාඩු සහල් කිලෝවක් රුපියල් 198ක්, සුදු සහල්කිලෝවක් රුපියල් 190ක් හාරතු කැකුලු කිලෝවක් රුපියල් 170ක් දක්වා මිල පහත වැටී තිබෙන අතර, පසුගිය දිනවල මෙම සහල් වර්ගවල කිලෝවක් අළෙවිකරනු ලැබුවේ රුපියල් 200ක් හෝ ඊට වඩා වැඩිමිලකටය.

සහල් පාලන මිලට අනුව කීරිසම්බා සහල් කිලෝවක් රුපියල් 260කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230කටත් අළෙවි කළ යුතු වුවද කීරි සම්බා හෝ සම්බා කිලෝවක් වශයෙන් සිල්ලරට අළෙවි කිරීම් සිදුනොවන අතර, ඇසුරුම් කරන ලද සහල් බෑගයක් මිලදී ගැනීමේදී කීරි සම්බා කිලෝවක මිල රුපියල් 360ක් හා සම්බා කිලෝවක් රුපියල් 320ක් බවට පත් වී තිබේ.

මීට අමතරව කීරි කැකුලු සහල් කිලෝවක් රුපියල් 295ත් 300ත් අතර මිලකට අළෙවි කරන අතර, පොන්නි සම්බා කිලෝවක් රුපියල් 260කට අළෙවි කරනු ලබයි.

එළවළු මිල පහළ යාම යටතේ ඊයේ බොහෝ ප්‍රදේශවල බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 600 දක්වාත්, ලීස් කිලෝවක සිල්ලර මිල 350 දක්වාත්,ගෝවා හා බීට්රූට් කිලෝවක සිල්ලර මිල 400 දක්වාත් පහතවැටී තිබූ අතර, කරවිල, පතෝල, වැටකොළු කිලෝවක මිල රුපියල් 400ත් 350ත් අතර මිලකටත්, දඹල, මෑකරල්, වට්ටක්කා කිලෝවක් රුපියල් 350ත් 300ත් අතර මුදලකටත් අළෙවි විය.

මාළු මිරිස් හා අමුමිරිස් කිලෝවක මිල රුපියල් 900ත් 950ත් අතර මිලකට අළෙවි වී තිබෙන අතර, තක්කාලි කිලෝවක් රුපියල් 700ත් 800ත් අතර මිලකට අළෙවි වී තිබේ.