ඇමති අරුන්දික නියමයෙන් හොර පාස්පෝට් චීනා නිදහස් කළ ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ

ඇමති අරුන්දික නියමයෙන් හොර පාස්පෝට් චීනා නිදහස් කළ ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් චීන ජාතිකයෙකු මෙරටට ඇතුළු වීම සම්බන්ධව වගකිවය යුත්තේ වැරදි උපදෙස් ලබා දුන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු නොව එම වැරදි උපදෙස් මත රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළ ආගමන විගමන නිලධාරීන් බැවින් සිද්ධියට වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

අදාළ චීන ජාතිකයා අද (22) අමාත්‍යාංශයට කැඳවා චීන තානාපති කාර්යාලයේ උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කළ චීන ජාතික මගියෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනා වන, තවත් චීන ජාතිකයෙකු සහ ඊජිප්තු ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රටට ඇතුළු වීමට උත්සාහ කර තිබිණි.

ආගමන විගමන නිලධාරීන් එම ගුවන් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව හඳුනාගෙන ඔවුන් රටට ඇතුළුවීම වළක්වනු ලැබුවේය. සිදුවීම වාර්තා වන්නේ පසුගිය 18 වැනිදා බ්‍රහස්පතින්දාය. මෙම චීන ජාතිකයා ඉදිරිපත් කර තිබුණේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ගිනියා රාජ්‍යයේ ගුවන් බලප්‍රයක් බව ගුවන්තොටුපල නිලධාරීහු අනාවරණය කරගත්හ.

මේ අවස්ථාවේ දී මෙම පුද්ගලයින් තිදෙනා කළහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය.

එහිදි ආගමන විගමන නිලධාරීන්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර, රටින් පිටුවහල් කිරීම සඳහා එම ගුවන් සේවා “රැදවුම් කුටිය” වෙත, යොමු කර තිබුණි.

එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබුණේය. ඒ අතර මෙම පුද්ගලයින් ගුවන්තොටුපල නිලධාරීන්ට අල්ලස් දීමට ද තැත් කර තිබූ බව ආගමන විගමන නිලධාරීහු ප්‍රකාශ කළහ.

නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා, මොවුන් ආයෝජකයන් පිරිසක් බවත්, රටට පැමිණියේ තමන්ගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට බවත් දන්වා ඔවුන් නිදහස් කරන ලෙස, ආගමන විගමන පාළකවරයා වෙත ලිඛිතව ඉල්ලා තිබුණේය.