මන්නෙන් පහර දී කොල්ලකෑ හොරු අත්අඩංගුවට

මන්නෙන් පහර දී කොල්ලකෑ හොරු අත්අඩංගුවට

උපන්දින සාදයකට සහභාගී වී නැවත නිවස කරා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඔවුන් සතුව තිබූ මුදල් පසුම්බිය සහ යතුරු පැදියක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් මිල්ලනිය පොලිසිය පවසයි.

සැකකරුවන් කොල්ලකෑමට යොදා ගත් මන්නය සහ සොරා ගත් යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් පහරකෑමට ලක්වූ කළුතර උතුරු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 26 වෙනි දින රාත්‍රියේ දී මිල්ලනිය ගොරකා තුඩුව ප්‍රදේශයේදී මෙම කොල්ලකෑම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 හා39 අතර පසුවන පරගස්තොට පදිංචිකරුවන් දෙදෙනෙකි.

එහි ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අතර අනෙක් පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මිල්ලනිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ සිරිමෙවන් ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වයි.

Share This