වෛද්‍යවරයෙක් සියදිවි නසාගනී

වෛද්‍යවරයෙක් සියදිවි නසාගනී

මොණරාගල පොලිස් වසමට අයත් වැලියාය තෙල් පිරවුම්හල අසළ කුලී නිවසක නතරව සිටි වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පදිංචි රජයේ දන්ත වෛද්‍යවරයෙකු ඊයේ (03) ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොණරාගල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, බදුල්ල පළාත් බද රෝහලේ සේවය කළ දන්ත වෛද්‍යවරයෙකු වන රත්නායක මුදියාන්සේලාගේ සහන් කෞෂාල් රත්නායක (42) නැමති දෙදරු පියෙකි.

හෙතෙම තුන්වෙනි දින උදෑසන සිය මෝටර්රථයෙන් බදුල්ල මහ රෝහලට යාමට දරුවන් දෙදෙනා සහ බිරිඳ සමඟ නිවසෙන් පිටව ගොස් ඇත.

හෙද නිලධාරිනියක වන බිරිඳ මොණරාගල රෝහල අසල බස්සවා දරුවන් දෙදෙනා මොණරාගල මහානාම පාසලට ඇරලවා ඇත.

නිවසේ වැඩට සිටි කාන්තාව දහවල් 12.45 පමණ නිවසට පැමිණ ඇති අතර වෛද්‍යවරයාගේ මෝටර් රථය නිවස අසල තිබී ඇති අතර නිවසේ දොරගුළු වසාදමා තිබී ඇත.

ඇය විසින් වෛද්‍යවරයාට කතාකර ඇතත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ඒ බව වෛද්‍යවරයාගේ බිරිඳට දුරකථන ඇමතුමකින් දැනුම්දී ඇත. ඒ අනුව බිරිඳ නිවසට පැමිණ ඇති අතර නිවසේ ජනේලයක ජනෙල් පියනක් විවෘතකොට බලන විට වෛද්‍යවරයා සාලයෙහි සිවිලිමේ ලීයක එල්ලී සිටිනු දැක ඇත.

ඒ පිළිබඳව මොණරාගල පොලීසියට දැනුම්දීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ දොර විවෘත කිරීමේදී වෛද්‍යවරයා මියගොස් ඇති බව හෙළිවී ඇත.

වෛද්‍යවරයා විසින් ලියන ලද ලිපියක් නිවසේ මේසය මත තිබී පොලීසියට හමුවී ඇති අතර එහි තමාගේ මරණයට කිසිවෙකු වගකිවයුතු නොවන බව සඳහන්කර තිබිණි.

මියගිය වෛද්‍යවරයා කලක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවයකර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ජනාදරයට පත්වූ ඔහු සමාජ සේවකයෙකු ලෙසද ප්‍රකටය.

වෛද්‍යවරයාගේ මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය මොණරාගල හදිසි මරණ පරීක්ෂක ඩී.එස් ගුණතිලක මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී නිසංසලා ලක්මාලි මහත්මිය විසින්පවත්වනු ලැබුවාය.

පරීක්ෂණයේදී ලද සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මෙම මරණය ගෙල වැලලාගැනීමෙන් සිදුකරගත් සියදිවි හානි කරගැනීමක් බවට මරණ පරීක්ෂකවරයා තීරණය කරන ලදි. මොණරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතා පරීක්ෂණ පවත්වයි.

 

Share This