කුලියාපිටිය තරුණයා ඝාතන සිද්ධියට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය තරුණයා ඝාතන සිද්ධියට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) දිනයේදී කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 18ක් වන වස්සාවුල්ල, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි පෙම්වති­යගේ නිවසට ගිය මොහොතේ සිට අතුරුදන්ව සිටි සුසිත් ජයවංශ නමැති 31 හැවිරිදි තරුණයාගේ මළ සිරුර පොලිසිය විසින් සොයාගනු ලබන්නේ පසුගිය 07 වැනිදා මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයෙනි.

මීගමුව ප්‍රදේශයේ පිහිටි සැකකාර පෙම්වතියගේ ඥාති නිවෙසක ඇය සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම්දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ තිබේ.

එහිදී සැකකාර තරුණිය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, තමා අවුරුදු 15ක වයයේ පසුවන පාසල් සිසුවියක සිටියදී සුසිත් නමැති ඝාතනයට ලක් වූ තරුණයා තමාට පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්ම වරට තමාව දූෂණය කළ බවයි.

ඉන්පසුව වරින්වර තමාව දූෂණය කළ බවත්, තමන්ව මරා දමාවිය යන බියට තමා මේ බව මවුපියන්ට නොකියූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වූ සුසිත් ජයවංශ නමැත්තා මීට පෙර විවාහකව සිට බිරිඳගෙන් වෙන් වී සිටි අයෙකි.

මේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කුලියාපිටිය පොලිසිය සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය වස්සාවුල්ල පදිංචි පෙම්වතියගේ පියා වන සුජිත් ප්‍රනාන්දු නොහොත් ‘සිඟිති’ නමැත්තා සහ ඔහුගේ බිරුඳ වන දිලානි රසිකා යන අය මීටපෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.