රජයේ වාහනයක් අලුත් වැඩියාවට දමා ගරාජයෙන් 32000ක අල්ලසක් ගත් සහකාර කළමනාකරුට උන දේ

රජයේ වාහනයක් අලුත් වැඩියාවට දමා ගරාජයෙන් 32000ක අල්ලසක් ගත් සහකාර කළමනාකරුට උන දේ

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් අලුත්වැඩියා කිරීමට ලබා දීම සඳහා වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක හිමිකාරියකගෙනන් රුපියල් 32,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට තැත් කළ බව කියන එම අමාත්‍යාංශයේ සහකාර කළමනාකාරවරයෙකු මෙම 19 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (9දා) නියෝග කළේ ය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි රසිකා දේශානි නමැති වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන කාන්තාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඉහත සඳහන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර කළමනාකාරවරයෙකු වන බුද්ධික නමැති සැකකරුවෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

මෙම ආයතනය රජයේ හා පෞද්ගලික ආයතනවල වාහන අලුත්වැඩියා සිදුකරන බවත් ඒ අනුව ඉහත සඳහන් අමාත්‍යාංශයේ කැබ් රථයක් රුපියල් 312,750ක් අලුත්වැඩියා කිරීම සඳහා භාරදී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

වාහනය අලුත්වැඩියා කිරීමට අදාළ චෙක්පත ලබා ගැනීමෙන් අනතුරුව එම මුදලින් සියයට දහයක්, ආසන්න වශයෙන් රුපියල් 32,000ක මුදලක් තමාට ලබා දෙන ලෙසට මෙම සැකකාර පුද්ගලයා ඉහත සඳහන් වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයට දැනුම්දී ඇති බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැන්වීය.

සැකකාර පුද්ගලයාගේ ඉල්ලීමට එකඟව ඇති පැමිණිලිකාරිය එම මුදල් ලබා ගැනීම සඳහා කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි තම ආයතනය වෙත පැමිණෙන ලෙස සැකකරුට දැන්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දැනුම්දී තිබේ.

පැමිණිලිකාරියගේ දැනුම්දීමට අනුව සැකකාර පුද්ගලයා පෙරේදා (ජන. 8) එම ස්ථානය වෙත ගොස් පැමිණිලිකාරියගෙන් අදාළ මුදල ලබාගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද එම කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරි බණ්ඩාර මහතා අධිකරණයට දැන්වීය.