කෝටි 8ක රත්‍රං තොගයක් සමග ප්‍රංශ ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

කෝටි 8ක රත්‍රං තොගයක් සමග ප්‍රංශ ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් අට කෝටි පනස් තුන් ලක්ෂ දස දහස් නව සියයක් වටිනා කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 611 බරැති රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ප්‍රංශ ජාතිකයෙකු පසුගිය 03 වනදා ශ්‍රී ලංකා රේගුවේ මැණික් සහ ස්වර්ණාභරණ තක්සේරු අංශයේ සහ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

35 හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , මෙවර ඔහු පැය 24 ක කාළයක් සදහා පමණක් මෙරටට පැමිණීම සැළකිල්ලට ගනිමින් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම රත්තරන් තොගය සොයා ගෙන අත් අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබුණි .

පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොහු රැගෙන ආ ගමන් මලු තුළ රන් මාළ කීපයක් මෙන්ම , බැලූ බැල්මට සොයා ගැනීමට අපහසු වන අන්දමට කළු පැහැති තීන්ත ආලේපන කරන ලද රන් පොලු තොගයක් ද සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ශිවඥානම් මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම රත්තරන් තොගය රාජසන්තක කළ අතර , මෙම ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .

මෙම දඩ මුදල ගෙවීමට මෙම ප්‍රංශ ජාතිකයා අසමත් වීමත් සමග , ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා වෙත රේගු නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබේ .

එහිදී මෙම ප්‍රංශ ජාතිකයා එළඹෙන 08 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .

IMG 20230605 WA0005

IMG 20230605 WA0006

Share This