අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු දෙදෙනාගේ ගුටි කෙළිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු දෙදෙනාගේ ගුටි කෙළිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරයෙකුට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහල් පරිශ්‍රය තුළදී ඊයේ (19) ඇති කර ගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් තුවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසිය.

මෙලෙස නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරයෙකු සහ වෙනත් වෛද්‍යවරයෙකු බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජකාරිය සම්බන්ධයෙන් කලක සිට ඇතිව තිබූ ගැටළුවක් ආරවුලක් දක්වා දුර දිග යෑම හේතුවෙන් ඇතිවූ ගැටුමක්, ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමෙන් මෙය සිදුව තිබේ.

මෙම ගුටිබැට හුවමාරුව හේතුවෙන් තුවාල ලැබූ විශේෂඥ වෛද්‍යවරයා සහ අනික් වෛද්‍යවරයා ඊයේ (19) පස්වරුව වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 20 සහ 11 ප්‍රතිකාර ලැබූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් තහවුරු කළේය.

අනුරාධපුර ශික්ෂණ ඉහළ මාලයේ ඇති සැලසුම් කාර්යාලය ආසන්නයේදී මෙම ගුටි බැට හුවමාරුව සිසුව තිබෙන බවත්, එය රෝහලේ කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් බලා සිටියදී සිදුව ඇති බව ද සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය රන්ජන් ගනේගම මහතා සඳහන් කළේය.

 

Share This