අනුරාධපුර වැව් දෙකක මළ සිරුරු දෙකක්

අනුරාධපුර වැව් දෙකක මළ සිරුරු දෙකක්

අනුරාධපුර හිදෝගම දිවුල් වැවේ සහ අනුරාධපුර නුවර වැව අසල තිබී සැකකටයුතු පුද්ගල මළ සිරුරු දෙකක් ඊයේ (08) පස්වරුවේදී සොයා ගත් බව පොලිසිය පවසයි.

එක් මළ සිරුරක් හිදෝගම පොලිස් වසමේ දිවුල්වැවේ තිබෙන බවට හිදෝගම පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගොස් මෙම මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.

ඇඳ ඇතිරිලි කීපයකින් ඔතා කඹයකින් ගැට ගසා එයට, විශාල ගලක්ද ගැට ගසා ජලයට දමා තිබූ මෙම මළ සිරුර ඝාතනයක් බවට සැක කරන බව පොලිසිය සඳහන් කළේය.

පසුව එම ස්ථානයට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථානීය පරීක්‍ෂණ කණ්ඩායමේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පස්වරුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කර තිබේ.

ඒ අනුව, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ආර්. හේවාවසම් මහත්මිය පැමිණ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කලේය.

මියගොස් සිටි එම පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් ඔහු පිළිබඳ කිසිදු අනන්‍යතාවයක් තහවුරු කර ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි.

අනෙක් පුද්ගල මළ සිරුර අනුරාධපුර නුවර වැවේ වෑකන්දට පිවිසෙන මාර්ගයේ නුවර වැව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගේට්ටුව ඉදිරිපිට ගසක් යට තිබී සොයා ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

ජීවිතක්ෂයට පත්ව සිටි පුද්ගලයා නොච්චියාගම ඉහළ වැටියාව ප්‍රදේශයේ පදිංචි කේ.ජී ජගත් කුමාර නැමති හතළිස් අට හැවිරිදි පුද්ගලයකු ලෙස හඳුනාගත් බවද පොලිසිය සඳහන් කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා විසින් පරීක්ෂණ සිදු කල අතර මරණයට හේතුව දැන ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ සැරයන් රත්නායක (47902) මහතා වැඩිදුර විමර්ශන සිදු කළේය.

Share This