මන්ත්‍රී අලි සබ්‍රිට ලක්ෂ 75 ක දඩයක්, බඩුත් රාජසන්තකයි

මන්ත්‍රී අලි සබ්‍රිට ලක්ෂ 75 ක දඩයක්, බඩුත් රාජසන්තකයි

නීති විරෝධීව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන පැමිණ කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 ක දඩයක් නියම කර මුදාහැර තිබේ.

එමෙන්ම, අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි, රේගු මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සහ ඡංගම දුරකතන 91ක් ඔහුගේ ගමන් බෑගයේ තිබී හමු වූ බව රේගුව පවසයි.

ඒ අනුව, අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් මෙරටට නීතිවිරෝධී රැගෙන විත් ඇති භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 78.2ක් බව සඳහන්ය.

මෙම රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය.

මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ, රන් බිස්කට්, ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර, මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

Share This