ගුවන් හමුදා සෙබලියක් දූෂණය කිරීමේ චෝදනාවකට වින්ග් කමාන්ඩර්වරයෙක් රිමාන්ඩ්

ගුවන් හමුදා සෙබලියක් දූෂණය කිරීමේ චෝදනාවකට වින්ග් කමාන්ඩර්වරයෙක් රිමාන්ඩ්

සෙබළියක් බලහත්කාරයෙන් දූෂණය කල බව කියන සිද්ධියකට අදාලව මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් රණසිංහ ආරච්චිගේ දොන් සම්පත් ජානක නැමැති පුද්ගලයා සැක පිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රීකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත් අන්නතුරෙයි දර්ශනී ඊයේ (20) නියෝග කළාය.

2019.05.29 දින චීනවරාය ගුවන් හමුදා කදවුරේදී 21 හැවිරිදි ගුවන් හමුදා සෙබළියක් දූෂණය කල බවට සැක පිට මෙම වින්ග් කමාන්ඩර්වරයා ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ගුවන් හමුදා සෙබළිය දූෂණය කිරීමට අදාල නිලධාරියාට ආධාර අනුබල දුන් බව කියන එවකට චීනවරාය ගුවන් හමුදා කදවුරේ කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කල ඒකනායක මුදියන්සේලාගේ ධම්මික බංඩාර වික්‍රමසිංහ ඒකනායක යන අයද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ත්‍රීකුණාමලය පොලිසිය පවසයි.

2019 වසරේදී සිදුවු මෙම සිද්ධිය සම්බන්ධයෙන් චීනවරාය පොලිසිය විසින් විධිමත් අයුරින් විමර්ශන කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ත්‍රීකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 ප්‍රකාරව එම විමර්ශනය බලය පවරන ලද විමර්ශනයක් ලෙස ත්‍රීකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයට භාර දී තිබුණි.