අහුංගල්ල වෙඩි තැබීම පළිගැනීමක් බව හෙළිවෙයි

අහුංගල්ල වෙඩි තැබීම පළිගැනීමක් බව හෙළිවෙයි

අහුංගල්ල, මරදාන ප්‍රදේශයේ ඊයේ (10) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 8 වනදා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට පළිගැනීමක් බවට අනාවරණය වී තිබේ.

අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පියෙකු වන කීර්තිසේන ආබෘෘ යන අයව පසුගිය 8 වනදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.

ඊට පළිගැනීමක් ලෙස කීර්තිසේන ආබෘෘ යන අයගේ ඩුබායිහි සැඟව සිටින පුත්‍රයා විසින් ඊයේ සිදුකළ වෙඩි තැබීම මෙහෙයවා ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ සිදුකළ වෙඩි තැබී‍මෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට වෙඩි ප්‍රහාර 5 ක් එල්ල වී ඇති අතර ඉන් උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී තිබූ බව සඳහන් වේ.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි අහුංගල්ල මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා සිය නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියේය.

මේ අතර මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (10) රාත්‍රියේ සිදුකළ බවයි, අහුංගල්ල පොලිසිය සඳහන් කළේ.

මේ අතර පසුගිය බදාදා රාත්‍රියේ අහුංගල්ල – ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනා පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය කොස්ගොඩ පොලිස් වසමේ මාන්වැලිදූව, සුදු වැලිපොත ප්‍රදේශයේ ගිනි තබා තිබිය දී පොලිසිය විසින් ඊයේ (10) උදෑසන සොයාගෙන තිබුණි.