ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමයි

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනත් කෙටුම්පත පසුගිය 4 වැනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වුවත් අධිකරණ නිවාඩු කාලය (court vacation) හේතුවෙන් පනත සම්බන්ධයෙන් අධිකරණයට යෑමට බාධා මතුවන තත්වය සැලකිල්ලට ගෙන පනත ඉදිරිපත් කිරීම මෙසේ ප්‍රමාද කළ බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සංවිධාන කළ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන රජයක් විදියට ඒ තීරණය ගත් බව පැවසූ විජයදාස රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ අනුව බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

මේ අතර මෙම පනත් කෙටුම්පතට විපක්ෂයේ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන සහ නොයෙකුත් සිවිල් සහ බහුජන සංවිධාන දැනටමත් විරෝධය පළ කර ඇත. පනතෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් එල්ල වන බව එම සංවිධානවල අදහසයි.

 

Share This