සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකින් සහෝදරයා මරුට

සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකින් සහෝදරයා මරුට

සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකට ලක්වීමෙන් 15 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබේ.

විවාහ උත්සවයේ මඟුල් පින්තූරය රැගෙන මනාලයාගේ පියා සමග නැවත පැමිණෙමින් සිටිය දී කුරණ බෑවුම් ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කානුවට වැටී මෙම අනතුර සිදුව ඇති බවයි, ඉංගිරිය පොලීසිය පැවසුවේ.

අනතුර සිදුවු ස්ථානයේ සිට මීටර් 15ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති යතුරුපැදිය කොස් ගසක ගැටී නැවතී ඇති බවයි, සඳහන් වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ, හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි හඳපාන්ගොඩ ජාතික පාසලේ දහවන වසරේ ශිෂ්‍ය නායකයකු වූ බිම්සර ප්‍රබෝද් රණසිංහ නම් සිසුවාය.

සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා සහ අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් තිබූ අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරින් යතුරු පැදියේ රෝදය සහ අනෙකුත් කොටස් දෙකට වෙන්ව ඇතැයි ඉංගිරිය පොලීසිය පවසයි.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) හොරණ මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Share This