දක්ෂිණ අධිවේගයේ අනතුරකින් මව සහ දියණිය මරුට

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් මව සහ දියණිය මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී ඊයේ (03) රාත්‍රියේ ලොරියක් සහ වෑන් රියක් ගැටී සිදු වූ අනතුරකින් මවක සහ දියණියක මියගොස් තවත් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, අම්බලන්තොට, බැරගම පදිංචි, ලංකා බැංකුවේ බරවකුඹුක ශාඛාවේ සහකාර කළමනාකාරිය ලෙස කටයුතු කළ උමේශිකා මධුමි (30) සහ ඇගේ මව එදිරිමුණි රීටා හැරියට් ද සොයිසා (57) යන දෙදෙනාය.

තුවාල ලැබූවන් අතර  වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක්, අවුරුදු දහතුනක පිරිමි ළමයෙක්, වෑන් රථ රියදුරු සහ තවත් පුද්ගලයෙක් වන බව පොලිසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ සිට ගාල්ල දෙසට කිලෝමීටර තුනක් දුරිනි.

මියගිය 51 හැවිරිදි කාන්තාව බයිපාස් සැත්කමකට භාජනය කර තිබී ඇති අතර ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකා බැංකුවේ සුබ සාධන වෑන් රථයෙන් කොළඹ වෛද්‍යවරයකු හමුවට ගොස් යළි නිවස බලා පැමිණීමේදී මාතර දෙසට සිල්ලර බඩු පටවාගෙන යමින් සිටි ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

අනතුර සිදුවූ වහාම එම ස්ථානයට ළඟා වූ ජීවිත ගලවා ගැනීමේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායම වෑන් රථය තුළ සිරවී සිටි පුද්ගලයන් දැඩි වෙහෙසක් දරා පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.

අනතුරින් තුවාල ලැබූ මව දියණිය සහ වෑන් රථයේ රියදුරු කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මව සහ දියණිය මියගොස් ඇත.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

වෑන් රථයේ රියදුරු කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුව ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Share This