සෙල්ෆි ගන්න ගිය තරුණිය අත්තනගලු ඔයට වැටී අතුරුදහන්

සෙල්ෆි ගන්න ගිය තරුණිය අත්තනගලු ඔයට වැටී අතුරුදහන්

අත්තනගළු ඔයේ දුනමලේ ජල මාපකය අසල දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ලිස්සා වැටී දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ, කොළඹ පිටකොටුව ගුණසිංහපුර මහල් නිවාස පදිංචිව සිටි පාතිමා පස්නා නමැති තරුණියක් බව ද පොලිසිය සඳහන් කරයි.

ඇය පිටකොටුවේ පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

ගුණසිංහපුරයේ වෙසෙන පිරිසක් ඔවුන්ගේ ඥාතීන් වෙසෙන තිහාරිය නිවසකට පෙරේදා දහවල් පැමිණ ඇති බවත් මෙම තරුණිය ද එම පිරිස සමග පැමිණි ආගන්තුක තරුණියක බව හෙලිවී ඇත.

මෙම තරුණිය ඇතුළු හත් දෙනෙකු අත්තනගලු ඔයේ දියනෑමට ගොස් ඇති අවස්ථාවේ මෙම තරුණිය ගල්තලාවක් මත සිට ලිස්සා ඇද වැටී ඇතැයි හෙළි වී තිබේ.

තමන් පිහිනීමට නොදන්නා බව කියමින් බේරා ගන්නැයි ඇය කෑ ගසද්දීම දියේ ගිලී ගසා ගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ප්‍රදේශවාසීන් හා එක්ව පොලිසිය තරුණිය සොයා ගැනීමට අද (03) දහවල් වන තුරුම උත්සහ ගත්තත් පලක් පලක් වී නැත.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගෙන්වා තරුණිය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කෙරෙන බව නිට්ටඹුව පොලිසිය පවසයි.