මග මරුවා සීයා බිලිගනී – මුණුපුරන් දෙදෙනා රෝහලේ

මග මරුවා සීයා බිලිගනී – මුණුපුරන් දෙදෙනා රෝහලේ

සිය මුණුපුරන් දෙදෙනා නංවාගෙන සිවුදරු පියෙක් පදවාගෙන ගිය ත්‍රීරෝද රථයක් බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ දී ලොරි රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.

සිදුවූ අනතුරෙන් වයස අවුරුදු 6 සහ සහ 14 වයස්වල පිරිමි දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටි කේ කේ සුනිල් ශාන්ත බ්‍රිටෝ අධිකාරි (61) යන අයයි

අනතුරින් තුවාල ලද 14 හැවිරිදි දරුවා බණ්ඩාරගම ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපනය ලබන අතර ඔහු රැගෙන යාම සඳහා ඔහුගේ 6 හැවිරිදි සොයුරාද සියා සමග පැමිණ ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව මියගිය පුද්ගලයා මුණුපුරන් දෙදෙනා නංවාගෙන බණ්ඩාරගම නගරයේ සිට කළුතර මාර්ගයේ වෑවිට දෙසට ත්‍රීරෝද රථය පදවා ගෙන යාමේදී කළුතර දෙස සිට පැමිණි ලොරිය ත්‍රීරෝද රථය හා මාර්ගය මැද දි මුහුණට මුහුණ ගැටී එම අනතුර වී ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ලොරියේ ත්‍රී රෝද රථය ගැටීමත් සමඟ ම ත්‍රිරෝද රථය මාර්ගයේ උඩුබැලි අතට පෙරළි ගොස් ඒ තුළ සිටි දරුවන් දෙදෙනා හා මියගිය පුද්ගලයා පිටතට විසිවී මාර්ගයට වැටී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර ඒ වන විටත් තිරෝද රථය පැදවූ පුද්ගලයා මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

තුවාල ලබා සිටි 6 හැවිරිදි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් පානදුර මූලික රෝහල වෙත පිටත් කර හැරි බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අනතුරින් තුවාල ලැබූ දරු දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This