ආචාර්ය පුන්සර අමරසිංහ අත්අඩංගුවට
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සැකකරුවන් 4 දෙනා සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවට පැමිණ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගේ නම් පාස්කු කොමිෂන් සභා වාර්තාව මඟින් පුනරුත්ථාපනය කළ යුතු යැයි සඳහන් නම් ලැයිස්තුව අතර ඇතැයි ආචාර්ය පුන්සිරි අමරසිංහ මහතා එම රූපවාහිනී වැඩසටහනේ දී පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විශේෂ අවධානයක් යොමුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගේ නමක් ගමක් පාස්කු කොමිෂන් සභාවේ සටහන් වී නොමැති බවයි.
ඒ අනුව, නැවත නැවතත් පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව පරීක්ෂාකර බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ, ඔහු ඒ කළ ප්‍රකාශයට අදාළ සැකකරුවන් සිව් දෙනා ගැන පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සටහන්ව ඇත්තේ කුමන පිටුවකදැයි කියාය.
එම ප්‍රශ්න කිරීමේදී නිසි පිළිතුරක් ලබාදිය නොහැකි වූ ආචාර්ය පුන්සර අමරසිංහ මහතා තහවුරු නොවූ පදනම් විරහිත ප්‍රකාශයක් රූපවාහිනී මාධ්‍යයෙන් පැවසීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
ඒ අනුව, ඔහුව අත්අඩංගුවට ගත් බවත් අද දිනයේ අධිකරණයට ඉදිරිපත්කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.