13ට එහා ගිය බලයක් ගන්න මැදිහත් වෙන්නැයි දෙමළ දේශපාලන නායකයෝ ඉන්දීය තානාපතිගෙන් ඉල්ලයි

13ට එහා ගිය බලයක් ගන්න මැදිහත් වෙන්නැයි දෙමළ දේශපාලන නායකයෝ ඉන්දීය තානාපතිගෙන් ඉල්ලයි

උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට සුදුසු වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝස් ජා ගෙන් ඊයේ (22) ඉල්ලීමක් කොට තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගිය දෙමළ දේශපාලන පක්ෂ නායකයන් පැය දෙකක පමණ කාලයක් නව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කොට ඇති අතර එහිදී මෙම ඉල්ලීම සිදු කොට තිබේ.

එහිදී 13 වැනි සංශෝධනයට එහා ගිය බලයක් ලබා ගැනීම සදහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කිරීමටද මෙම නායකයන් කටයුතු කොට තිබේ.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව විශාල වගකීමක් ඇත්තේ ඉන්දීය රජයට බැවින් වහාම එම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් පැරණි වගන්ති ඉවත් කොට පරිසරයට කාලයට හා වත්මන් තත්වයට ගැලපෙන ආකාරයට ව්‍යවස්ථාව යළි සංශෝධනය කළ යුතුව ඇතයි දෙමළ දේශපාලන නායක පිරිස මහ කොමසාරිස් වරයාට ප්‍රකාශ කොට ඇත.

අනතුරුව වර්ථමානයට ගැලපෙන ආකාරයට සුදුසු විසඳුමක් සොයා ගැනීමට ශ්‍රි ලංකා රජය සමග ඉන්දීය රජය නිල වශයෙන් සාකච්ඡා කළ යුතුව ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ මතය වී තිබේ.

මීට අමතරව දෙමළ ජනයාගේ ඉඩම් සම්බන්ධයෙන්ද පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහිද බලය බෙදා ගැනීම සම්බන්ධයෙන්ද ඉන්දීය රජයේ අවධානය යොමු කොට ඒවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට යම් බලපෑමක් කිරීමට ඉන්දීයාව උත්සාහ කළ යුතු බවද දෙමළ දේශපාලනඥයෝ මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ සාකච්ඡාවට ආර්.සම්පන්ධන්, නෝහා රාධලිංගම් එස්.ශ්‍රීතරන්. එම්.ඒ.සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ගෝවින්දන් කරුණාකරන්, රාසමානික්කම් චානක්‍යන්, චාර්ල්ස් නිර්මලනාදන් යන දෙමළ දේශපාලනඥයෝ සහභාගී වී සිටියහ.

Share This