කාන්තාවන් බිය ගන්වා සිරකර බලෙන් විකිණු කතක් සහ තවත් අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් බිය ගන්වා සිරකර බලෙන් විකිණු කතක් සහ තවත් අයෙක් අත්අඩංගුවට

කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ නුගේගොඩ පාගොඩ දේවාල පාරේ නිවසක් වටලා එය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු හා සහය වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසයි.

එම ස්ථානයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, කාන්තා අඩ නිරුවත් ඇඳුම්, කාන්තා යට ඇදුම්, විවිධ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් බැංකු කාඩ් පත්, දේශීය සහ විදේශීය මුදල්, උපත් පාලන කොපු, ජංගම දුරකථන ඇඳට සවි කරන උපකරණ, ලැෆ් ටොෆ් පරිගණක සහ ජංගම දුරකථන, කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද ගිවිසුම්පත් රැසක් පොලිස් භාරයට ගෙන ඇත

පොල්තෙල් ව්‍යාපාරික ස්ථානයක රැකියාවකට බඳවා ගන්නා බව පවසා හා එම ස්ථානයේ ආහාර පිසීමට සහ දරුවා බලා ගැනීමට යැයි පවසා මීට දින කීපයකට ඉහතදී එම ස්ථානයේ රැකියාවට පැමිණි බදුල්ල සහ වැල්ලවගෙදර ප්‍රදේශවල වයස අවුරුදු 27 හා 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පලා විත් පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී ඉතා රහසිගත ලෙස කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මෙම මිනිස් ලිංගික ජාවාරම නීතියේ රැහැණට අසුකර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එම ස්ථානයේ රැකියාව පතා ආ ඔවුන්ට මුල් දිනවලදී නිත්‍ය රැකියාව ලබාදී අනතුරුව පෞද්ගලික තොරතුරු ලබාගෙන ගිවිසුම් ගත කිරීමෙන් අනතුරුව බලහත්කාරයෙන් සිරකර ගෙන තබා ගනිමින් මෙලෙස විවිධ පුද්ගලයන්ට ලිංගික අවශ්‍යතා සඳහා අලෙවි කර තිබූ බවත් එම ලිංගික ක්‍රියාව විනාඩි විස්සක් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ පහසුකම් ලබාදී එම කාලයට රුපියල් 2500/= ක මුදලක් කාන්තාවන් වෙත ලබා දී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම ස්ථානයේ තිබී කාන්තා අත් බෑග් රැසක් පොලිස් භාරයට ගත් බවත් ඒවා මෙම ස්ථානයෙන් පලා ගිය කාන්තාවන්ගේ බවට මේ වන විට අනාවරණය වී ඇති අතර එම කාන්තාවන්ට මෙන්ම පැමිණිලිකාර කාන්තාවන් දෙදෙනාටද මොවුන් විසින් තම ආයතනයේ රන් භාණ්ඩ සොරාගෙන ගිය බවට මිරිහාන පොලිසියට පැමිණිලි කරන බවටද තර්ජනය කර බියගන්වා ඇතැයිද එම කාන්තාවන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරුගේ සහ සැකකාරියගේ ග්‍රහණයට ලක්ව අයුතු ලෙස සිරකරගෙන සිටි කාන්තාවන් දෙදෙනා එම ස්ථානයෙන් පලා එන ආකාරය එහි සවි කර තිබූ සීසී ටීවි කැමරාවක ද සටහන්ව තිබීමෙන් අනතුරුව ඒවාද සිය භාරයට ගත් බවත් පොලිසිය සඳහන් කරයි

වින්දිත කාන්තාවන් දෙදෙනා අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට නියමිතය.

46 හැවිරිදි සැකකරු සහ 29 හැවිරිදි සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This