විමල්ට පාචනය

විමල්ට පාචනය

හිටපු අමාත්‍ය විමල් විරවංශ මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී ඇත.

රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ලවී ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම මත ඔහුගේ නීතිඥවරුන් මේ බව අධිකරණයට දැනුම්දී තිබේ.

ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු රෝගී තත්ත්වයින් පසුවන බවත් ඒ බව සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත් දන්වා සිටියා.

එම වෛද්‍ය වාර්තාව පරික්ෂාවට ලක් කළ විනිසුරුවරයා විත්තිකරු උණ, වමනය හා පාචනය යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති බවත් ඔහුට අද (01) දින සිට දින හතක නිවාඩුවක් ලබා දෙන ලෙස වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවයි.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු පසුගිය සැප්තැම්බර් මස 13 වන දා සිට අසනීප තත්ත්වයන් බව සඳහන් කරමින් අධිකරණය හමුවේ වරින් වර පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් කළා.

එම නිසා විත්තිකරු අප්‍රමාදව සුදුසු වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම යෝග්‍ය බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීම සඳහා දින නියම කරන ලෙසත් ඉල්ලා සිටියා.

මෙහිදී විනිසුරුවරයා ද විත්තියේ නීතිඥවරුන්ට පෙන්වා දුන්නේ, විත්තිකරු වරින් වර අසනීප තත්වයන් බව සඳහන් කරමින් අධිකරණයේ පෙනී නොසිටීම නිසා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි වී ඇති බවයි.

එම නිසා නඩුව නැවත මාර්තු මස 22 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදින විත්තිකරු අනිවාර්යෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළා.